AI නිසා රැකියා නැතිවෙයි කියලා බයද? - මෝදිගෙන් පණිවුඩයක්
කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය පිළිබඳව මේ වන විට බොහෝ කතාබහක් පවතින නමුත්, නිසි වෘත්තීය දක්ෂතා සහිත පුද්ගලයෙකුගේ ජීවනෝපාය කිසිවෙකුට අහිමි කළ නොහැකි බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසනවා.
ඉන්දියාවේ ලක්නව්හි ඉන්දිරා ගාන්ධි ප්රතිෂ්ඨානයේ පැවති පස්වැනි ජාතික නිපුණතා උපාධි ප්‍රදානෝත්සවයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ ඉන්දියාව ආක්‍රමණය කළ විදේශීය පාලකයන් එරට සාම්ප්‍රදායික කුසලතා හා ශිල්පීය දැනුම විනාශ කිරීමට උත්සාහ කළ බවයි.
එමෙන්ම බ්‍රිතාන්‍ය පාලන සමයේදී හඳුන්වා දුන් අධ්‍යාපන ක්‍රමය මඟින් ප්‍රායෝගික වෘත්තීය පුහුණුවට වඩා ලිපිකරු රැකියා සඳහා පුද්ගලයන් බිහිකිරීම කෙරෙහි අවධානය යොමු කළ බවද ඔහු ප්‍රකාශ කළා. නිදහස ලැබීමෙන් පසුවත් එම තත්ත්වය බොහෝ දුරට වෙනස් නොවූ බවත්, වෘත්තීය නිපුණතා සංවර්ධනය සහ සාම්ප්‍රදායික ශිල්පීය කර්මාන්තවලට ප්‍රමාණවත් පිළිගැනීමක් නොලැබුණු බවත් මෝදි සඳහන් කළා.
කෙසේ වෙතත්, මේ වන විට කාලය වෙනස් වෙමින් පවතින බවත්, සහතික පත්‍ර පමණක් හිමි පුද්ගලයන්ට වඩා සැබෑ වෘත්තීය දක්ෂතා සහිත පුද්ගලයන්ට වැඩි පිළිගැනීමක් හිමිවන යුගයක් උදාවෙමින් පවතින බවත් ඔහු අවධාරණය කළා.
ඉදිරියේදී දක්ෂතා සහ කුසලතා සහිත පුද්ගලයන් සඳහා ඇති ඉල්ලුම තවදුරටත් ඉහළ යනු ඇති බවද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නා. ඉන්දියාව 21 වැනි සියවසේ ඉදිරියට යාමට නම් නිපුණතා සහිත ශ්‍රමිකයන්ට නිසි ගෞරවය ලබාදිය යුතු බවද ඔහු කියා සිටියා.
එහිදී ඉන්දියානු තාක්ෂණ ආයතනවල (IIT) සිසුන්ට ලබාදෙන පිළිගැනීමම කාර්මික පුහුණු ආයතනවල (ITI) සිසුන්ටද ලබාදිය යුතු බව මෝදි සඳහන් කළා.
විශාල සමාගම් පවත්වාගෙන යාම සඳහා සහතික පත්‍ර හිමි කිහිපදෙනෙකු පමණක් නොව, කාර්මික පුහුණුව ලැබූ පුද්ගලයන් සිය ගණනකගේ දායකත්වය අවශ්‍ය වන බවද ඔහු පෙන්වා දුන්නා.
කොවිඩ් වසංගත සමයේදී නගරවල සිට ගම්මාන වෙත ශ්‍රමිකයන් විශාල වශයෙන් ගමන් කිරීමත් සමඟ දෛනික ජීවිතය පවත්වාගෙන යාම සඳහා නිපුණතා සහිත ශ්‍රමිකයන්ගේ වැදගත්කම සමාජයට අවබෝධ වූ බවද මෝදි ප්‍රකාශ කළා.
එමෙන්ම වෘත්තීය කුසලතා අත්පත් කරගැනීම යනු යන්ත්‍ර සමඟ වැඩ කිරීම පමණක් නොවන බවත්, එය ජනතාවගේ ජීවිත පහසු කරමින් රටේ නිෂ්පාදන හැකියාව ඉහළ නැංවීමටද දායක වන බවත් ඔහු සඳහන් කළා.
ඉන්දියාව මීට පෙර ජංගම දුරකථන ආනයනය කළ රටක් වුවද, අද වන විට එරට නිෂ්පාදනය කරන ජංගම දුරකථන ලොව පුරා අපනයනය කරන තත්ත්වයට පත්ව ඇති බවද ඔහු පෙන්වා දුන්නා.
පසුගිය දශකය තුළ ඉන්දියාවේ නව කාර්මික පුහුණු ආයතන 5,000කට ආසන්න සංඛ්‍යාවක් ඉදිකර ඇති බවත්, එම ආයතනවල අධ්‍යාපනය ලබන සිසුන් සංඛ්‍යාව ලක්ෂ පහකට වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බවත් මෝදි වැඩිදුරටත් සඳහන් කළා.
එමෙන්ම එම ආයතනවල අධ්‍යාපනය ලබන සිසුවියන් සංඛ්‍යාව දෙගුණයකටත් වඩා වැඩි වී ඇති බවද ඔහු පැවසුවා. මේ අතර, 2027 වසරේ ලෝක නිපුණතා තරගාවලිය ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ග්‍රේටර් නොයිඩාහිදී පැවැත්වීමට නියමිත බවද අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මෙහිදී නිවේදනය කළා.