හොංකොං පරදා ශ්රී ලංකා නැගි එන ශ්රී ලංකා කණ්ඩායමට ලකුණු 24ක ජයක්
ආසියානු කුසලාන නැගී එන කණ්ඩායම් එක්දින ක්රිකට් තරගාවලියේ හොංකොං කණ්ඩායම සමඟ පැවති තරගයෙන් ලකුණු 24ක ජයක් වාර්තා කිරීමට ශ්රී ලංකා A කණ්ඩායම සමත් වුණා.
කටාර්හි දෝහා නුවරදී පැවති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්රී ලංකා A කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 284ක් රැස් කළා.
ශ්රී ලංකා ඉනිම වෙනුවෙන් ලසිත් කෲස්පුල්ලේ පන්දු 70කදී හතරේ පහර 9ක් සහ හයේ පහර 2ක් සමඟ ලකුණු 75ක් රැස්කරමින් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වුණා.
නිශාන් මධුෂ්ක ලකුණු 64ක් රැස් කළ අතර පවන් රත්නායක ලකුණු 51ක් සහ ජනිත් ලියනගේ පන්දු 33කදී වේගවත් ලකුණු 52ක් ලබාගැනීමට සමත් වුණා.
ලකුණු 285ක ජයග්රාහී ඉලක්කයක් හඹා ගිය හොංකොං කණ්ඩායමට නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 260ක් පමණයි.
හොංකොං ඉනිම වෙනුවෙන් බාබර් හයට් ලකුණු 86ක් සහ අන්ෂි රත් ලකුණු 75ක් රැස් කළා.
ශ්රී ලංකා පන්දු යැවීමේදී දුලාජ් සමුදිත ලකුණු 33කට කඩුලු 3ක් දවාගත් අතර විජයකාන්ත් වියස්කාන්ත් සහ වනුජ සහන් කඩුලු 2 බැගින් බිඳ හෙළීමට සමත් වුණා.
ඒ අනුව ශ්රී ලංකා A කණ්ඩායමට මෙම තරගයෙන් ලකුණු 24ක ජයක් හිමිවූ අතර තරගයේ වීරයා සම්මානය ලසිත් කෲස්පුල්ලේට හිමිවුණා.
මෙම ජයග්රහණයත් සමඟ ශ්රී ලංකා A කණ්ඩායමට ප්රසාද ලකුණු 2ක් හිමිව තිබෙනවා.