''මහා භාණ්ඩාගාරය පිරී ගියාට ජනතාව අතේ සල්ලි නෑ” සජිත් ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති වලට දැඩි ප්‍රහාරය මෙන්න
තරුණ පරපුර තවදුරටත් රැවටීමට කිසිවෙකුට නොහැකි බවත්, 2019 සහ 2024 වසරවලදී තරුණයන් දෙවරක්ම රැවටීමට ලක්වූ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව ප්‍රකාශ කළේ කොළඹ BMICH හි පැවැත්වෙන Colombo Motor Show ප්‍රදර්ශනයට එක්වෙමිනි.
රටේ බොහෝ දෙනෙකුගේ සිහිනයක් වන්නේ තමන්ටම කියා වාහනයක් හිමිකර ගැනීම බව පැවසූ ඔහු, Colombo Motor Show වැනි ප්‍රදර්ශන පැවැත්වීම වැදගත් බවද පෙන්වා දුන්නේය. එමෙන්ම, වාහන අලෙවියට පමණක් සීමා නොවී වාහන නිෂ්පාදන කර්මාන්තයද මෙරටට හඳුන්වා දිය යුතු බව ඔහු අවධාරණය කළේය.
ඒ සඳහා රට තුළ ආයෝජන හිතකාමී පරිසරයක් නිර්මාණය කිරීම අත්‍යවශ්‍ය බවත්, එමඟින් වාහන අලෙවියට අමතරව මෙරට තුළම වාහන නිෂ්පාදනය කිරීමේ හැකියාවද උදාකර ගත හැකි බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
තරුණයන්ට අවශ්‍ය වන්නේ පොරොන්දු පත්‍රිකා නොව, ස්වෝත්සාහයෙන් ව්‍යවසායන් ආරම්භ කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සහ ප්රාග්ධනයට ප්‍රවේශ වීමේ අවස්ථා ලබාදීම බවද ඔහු අවධාරණය කළේය.
අයවැයක් ඉදිරිපත් කරමින් විවිධ සංඛ්‍යාලේඛන ප්‍රකාශ කරන රජය මෙවැනි වාහන ප්‍රදර්ශන නැරඹිය යුතු බව සඳහන් කළ විපක්ෂ නායකවරයා, පසුගිය වසරට සාපේක්ෂව මෙවර ජනතා සහභාගීත්වය අඩු වී ඇති බවද පෙන්වා දුන්නේය.
මහා භාණ්ඩාගාරය මුදලින් පිරී තිබුණද ජනතාවගේ අතේ මුදල් නොමැති බවත්, එය බරපතළ ආර්ථික ගැටලුවක් බවත් ඔහු පැවසීය.
ව්‍යවසායකත්ව හා ව්‍යාපාරික ක්‍රියාකාරකම් අඛණ්ඩව පවත්වාගෙන යාමේදී ජනතාව සතුව මුදල් නොමැති වීම ප්‍රධාන බාධාවක් වන බව පෙන්වා දුන් සජිත් ප්‍රේමදාස මහතා, ආර්ථිකයක් ඉදිරියට ගමන් කිරීමට නම් ජනතාවගේ අතේ ප්‍රමාණවත් මුදල් සංසරණය විය යුතු බවද සඳහන් කළේය.