අර්චුනාගේ ප්‍රකාශයෙන් දේශපාලන පිටිය ගිනිගනී - නීතිමය පියවර ගැනීමට සූදානම්
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතා විසින් සිදු කළ බව කියන මතභේදාත්මක ප්‍රකාශ සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයින් දැඩි විරෝධය පළ කර තිබේ.
ශ්‍රී ලංකාවේ තහනම් කර ඇති සංවිධානයකට සහාය පළ කරමින් මන්ත්‍රීවරයා වේදිකාවකදී අදහස් දැක්වූ බවට චෝදනා කරමින්, ඔහුට එරෙහිව පොලිස් මූලස්ථානයට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවද විපක්ෂ නියෝජිතයෝ සඳහන් කරති.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමක් අමතමින් අර්චුනා රාමනාදන් මහතා මතභේදාත්මක අදහස් පළ කළ බවද ඔවුහු පෙන්වා දෙති.
මේ අතර, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දෙමළ ඩයස්පෝරාවෙන් මුදල් ලබාගෙන යාපනයේ මැතිවරණ ප්රචාරක කටයුතුවල නිරත වූ බවටද අර්චුනා රාමනාදන් මහතා චෝදනා කළ බව වාර්තා වේ.
එමෙන්ම, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් වත්මන් රජය 2029 වන විට අවසන් වනු ඇති බවත්, ඉන් අනතුරුව නාමල් රාජපක්ෂ මහතා බලයට පත්වනු ඇති බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළ බවද වාර්තා වේ.
අර්චුනා රාමනාදන් මහතාගේ ප්‍රකාශ සම්බන්ධයෙන් වහාම නීතිමය පියවර ගත යුතු බව අවධාරණය කරන විපක්ෂ නියෝජිතයින්, ඒ සඳහා අවශ්‍ය පැමිණිලි ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව වැඩිදුරටත් සඳහන් කර තිබේ.