ජනාධිපති සමාව යනු අපරාධකරුවන් මුදාහරින දේශපාලන පළිහක්ද?
පූජ්‍ය ගලගොඩවත්තේ ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ලබා දී තිබූ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෑතකදී නිල වශයෙන් ඉවත් කරනු ලැබීය.
හෝමාගම අධිකරණයේ පැවති ප්‍රගීත් එක්නැලිගොඩ නඩු විභාගයක් අතරතුර උසාවියට අපහාස වන අන්දමින් හැසිරීම සම්බන්ධයෙන් එම හිමියන්ට අධිකරණය විසින් වසර හයක සිරදඬුවමක් නියම කර තිබුණි.
1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තමන්ට පැවරී ඇති බලතල ප්‍රකාරව එම සමාව ලබා දුන් බව හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළද, එය නිසි නීතිමය ක්‍රමවේදයකින් තොරව සිදුකළ බව රටේ නීතිවේදීහු ඒ අවස්ථාවේදීම පෙන්වා දුන්හ. මෙම මතභේදාත්මක නිදහස් කිරීම හරහා ඇතැම් දේශපාලන කණ්ඩායම්වලට මල්වතු සහ අස්ගිරි මහා නායක හිමිවරුන් බැහැ දැකීමට අවස්ථාව ලැබුණද, එය සමාජය තුළ දැඩි කතාබහට හා විවේචනයට ලක් වූ කරුණක් විය.
ජනාධිපති සමාව මුලිනුපුටා දැමිය යුතු ව්‍යවස්ථාමය පලිහක්ද?
පහළ අධිකරණයේ සිට ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා දිර්ඝ සහ අපක්ෂපාතී අධිකරණ ක්‍රියාවලියකින් අනතුරුව වරදකරුවන්ට නියම කරනු ලබන දඬුවම් මෙպරිදි යළි ආපසු හැරවීම සම්පූර්ණයෙන්ම අහෝසි කළ යුතු බව බොහෝ දෙනාගේ ස්ථාවරයයි. එය සෘජුවම නීති විරෝධී නොවූවත්, ව්‍යවස්ථාවේ හිඩැස් භාවිතා කරමින් සිදුකෙරෙන නීතිමය වංචාවක් ලෙස සැලකිය හැකිය. ජනාධිපතිවරුන්ට තම දේශපාලන හෝ පෞද්ගලික අභිමතාර්ථ මත බලය අයුතු ලෙස භාවිතා කිරීමට මෙය කදිම ව්‍යවස්ථාමය පළිහක් වී තිබේ. අනාගතයේ ගෙන ඒමට නියමිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හරහා මෙම අත්තනෝමතික බලය ඉවත් කිරීමට වත්මන් ආණ්ඩුවට කදිම අවස්ථාවක් ඇත. කෙසේ වෙතත්, අනාගතයේදී දේශපාලන වාසි ලබාගැනීමේ අරමුණින් මෙම අයුතු බලය තවදුරටත් රඳවා ගන්නේ නම්, එය පාලකයන්ගේ බල තෘෂ්ණාවේම තවත් එක් දිගුවක් ලෙස හැඳින්විය හැකිය. ජේ.ආර්. ජයවර්ධන යුගයේ හඳුන්වා දුන් ව්‍යවස්ථාවේ අනෙකුත් බොහෝ අංශ දැඩි ලෙස විවේචනයට ලක්වන පසුබිමක, මෙම ජනාධිපති සමාව දීමේ අයිතිය පමණක් නිවැරදි යැයි පැවසීම අතාර්කිකය.
ශ්‍රී ලංකා ඉතිහාසයේ මතභේදාත්මක ජනාධිපති සමාාවන්
ශ්‍රී ලංකා ඉතිහාසය පුරා විවිධ නායකයන් විසින් ලබා දී ඇති ජනාධිපති සමාාවන් අතරින් ඇතැම් සිදුවීම් රටම දැඩි කම්පනයට පත් කළේය.
- ගෝනවල සුනිල්: සමාජය දැඩි ලෙස කම්පනයට පත් කළ ප්‍රථම ජනාධිපති සමාව ලෙස සැලකෙන්නේ ස්ත්‍රී දූෂණ චෝදනාවකට වරදකරු වී සිරගතව සිටි ගෝනවල සුනිල් නිදහස් කිරීමයි. ඔහු එවකට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන පෙළේ මැර කල්ලියක සාමාජිකයෙකු වීම විශේෂත්වයකි.
- රෝහණ විජේවීර සහ සරත් පොන්සේකා: 1971 කැරැල්ලට නායකත්වය දීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර ඇතුළු පිරිසට සමාව ලැබුණේ විදේශ විනිමය වංචා සම්බන්ධයෙන් සිරගතව සිටි ප්‍රකෝටිපති ව්‍යාපාරිකයන් පිරිසකට නිදහස ලබා දීමේ අරමුණ යටතේ යැයි මතයක් එදා පැතිර ගියේය. එමෙන්ම, ජනාධිපතිවරණයට තරග කිරීමේ ආනිසංසයක් ලෙස සරත් පොන්සේකා මහතාට සමාව ලැබුණද, එයද දැඩි කොන්දේසි මත සහ සිරගෙදර දීර්ඝ කාලයක් ගත කිරීමෙන් පසු සිදුකරුණු ලද්දකි.
- මේරි ජුලියට් ප්‍රනාන්දු: ද්විත්ව මිනීමැරුමකට වරදකාරිනිය වූ මේරි ජුලියට් ප්‍රනාන්දුට ජාත්‍යන්තර කාන්තා දිනයේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් සමාව ලබා දීම කාන්තා සංවිධානවල දැඩි දෝෂදර්ශනයට ලක් විය. මියගිය කාන්තාවන් වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ අනියම් බිරිය සහ ඇගේ සේවිකාවයි.
- රෝයල් පාක් මිනීමැරුම්කරු: තරුණියක ඝාතනය කිරීමේ වරදට සිරගතව සිටි ජයමහ නැමැත්තා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් නිදහස් කිරීම තවත් කම්පනකාරී සිදුවීමකි. නිදහස් කළ විගසම ඔහු රටින්පලා යාම මෙම තීරණය පිටුපස පැවති සැලසුම් සහගතභාවය මනාව පෙන්නුම් කළේය.
මෙම ඓතිහාසික පසුබිම හමුවේ, නීතියේ සමානාත්මතාවය සහ යුක්තිය සුරක්ෂිත කිරීම සඳහා ජනාධිපති සමාව දීමේ මතභේදාත්මක වරම අනාගතයේදීවත් අඛණ්ඩව පවත්වා ගෙන යා යුතුද යන්න පිළිබඳව පුරවැසියන් දැඩි ලෙස සිතා බැලිය යුතුය.
මෙම පසුබිම තුළ, අනාගතයේදී ගෙන ඒමට නියමිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන හරහා හෝ මෙම මතභේදාත්මක ජනාධිපති සමාව දීමේ බලය සීමා කිරීමට හෝ සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමට වත්මන් පාලකයන් කටයුතු කරනු ඇතැයි ඔබ සිතනවාද?