ඥානසාර හිමියන්ට නියම කළ වසර හතරක සිර දඬුවම අභියාචනාධිකරණය තහවුරු කරයි
ඉස්ලාම් දහමට අපහාස වන අයුරින් ප්‍රකාශ සිදු කිරීම සම්බන්ධයෙන් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහාධිකරණය විසින් නියම කළ බරපතළ වැඩ සහිත වසර හතරක සිර දඬුවම අභියාචනාධිකරණය විසින් තහවුරු කර තිබේ.
අදාළ දඬුවමෙන් තමන් වහන්සේ නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ඥානසාර හිමියන් විසින් ගොනු කර තිබූ අභියාචනය ප්‍රතික්ෂේප කරමින් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම තීන්දුව ලබාදී ඇති බව අප වාර්තාකරු සඳහන් කළේය.
2016 මාර්තු 30 වැනිදා කොළඹ කිරුළපන ප්‍රදේශයේදී කූරගල විහාරස්ථානය සම්බන්ධයෙන් පැවැති මාධ්‍ය හමුවකදී සිදුකළ ප්‍රකාශ මගින් ඉස්ලාම් දහමට අපහාස කිරීම සහ ජාතීන් හා ආගම් අතර සංහිඳියාවට බාධා වන අයුරින් කටයුතු කිරීම සම්බන්ධයෙන් ඥානසාර හිමියන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 291 වැනි වගන්තිය යටතේ නඩු පවරා තිබිණි.
එම චෝදනාවලට වරදකරු වූ ඥානසාර හිමියන්ට 2024 වසරේදී කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර හතරක සිර දඬුවමක් නියම කරනු ලැබීය.
එම තීන්දුවට එරෙහිව ඥානසාර හිමියන් විසින් අභියාචනාධිකරණය හමුවේ මෙම අභියාචනය ගොනු කර තිබූ අතර, එය ප්‍රතික්ෂේප කිරීමත් සමඟ මහාධිකරණය ලබාදුන් සිර දඬුවම තවදුරටත් තහවුරු වී තිබේ.