කොළඹ වරායෙන් සුපිරි ජයග්‍රහණයක්- ලොව කාර්යබහුලම කන්ටේනර් වරායන් අතරින් ස්ථාන 6ක් ඉදිරියට පැමිණ 20 වැනි තැනට - මෙහෙයුම් පරිමාවත් 10%කින් ඉහළට
2026 වසරේ පළමු මාස 10 තුළ කොළඹ වරායේ භාණ්ඩ ප්‍රතිනැව්ගත කිරීමේ (Transshipment) මෙහෙයුම් පරිමාව පසුගිය වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව 10%කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය නිවේදනය කරයි.
වරාය අධිකාරිය නිකුත් කළ නිවේදනයට අනුව, 2026 ජනවාරි සිට ඔක්තෝබර් දක්වා කාලය තුළ කොළඹ වරාය විසින් අඩි 20ක සමාන ඒකක (TEU) 6,406,363ක් හසුරුවා තිබේ.
2025 වසරේ එම කාලසීමාව තුළ හසුරුවා තිබූ TEU ඒකක 5,825,909 සමඟ සැසඳීමේදී මෙය ඒකක 580,454ක වැඩිවීමකි. මෙම වර්ධනය ඔක්තෝබර් මාසයේ වරාය මෙහෙයුම් තුළින් ද පැහැදිලි වේ.
ඒ අනුව, 2025 ඔක්තෝබර් මාසයේදී හසුරුවා තිබූ TEU ඒකක 620,830ට සාපේක්ෂව, 2026 ඔක්තෝබර් මාසයේදී TEU ඒකක 680,125ක් හසුරුවා තිබේ. එය පෙර වසරේ අදාළ මාසයට සාපේක්ෂව 9.6%ක වර්ධනයක් වන අතර, අමතරව TEU ඒකක 59,295ක් හැසිරවීමකි.
මේ අතර, ඇල්ෆාලයිනර් (Alphaliner) ආයතනයේ නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව, ලොව කාර්යබහුලම කන්ටේනර් වරායන් අතර කොළඹ වරාය 2026 වසරේ පළමු භාගය වන විට 20 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබේ.
2025 වසර අවසානයේදී 26 වැනි ස්ථානයේ පසුවූ කොළඹ වරාය, ස්ථාන හයකින් ඉදිරියට පැමිණීම විශේෂත්වයකි.
මෙම ප්‍රගතියත් සමඟ ඉන්දියන් සාගර කලාපයේ ප්‍රධාන භාණ්ඩ ප්‍රතිනැව්ගත කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස කොළඹ වරාය සතු වැදගත්කම තවදුරටත් තහවුරු වන බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පෙන්වා දෙයි.
වරායේ උපායමාර්ගික භූගෝලීය පිහිටීම, පුළුල් ජාත්‍යන්තර නාවික සම්බන්ධතා මෙන්ම යටිතල පහසුකම් සහ පර්යන්ත ධාරිතාව ඉහළ නැංවීම සඳහා සිදුකරන අඛණ්ඩ ආයෝජන මෙම වර්ධනයට ප්‍රධාන වශයෙන් දායක වී ඇති බව ද වරාය අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි.