වසර 19ක IPL ගමනට සමුදුන් මහේන්ද්‍ර සිං දෝනිට අලුත් භූමිකාවක්
ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියේ වසර 19ක ක්‍රීඩා දිවිය අවසන් කරමින් සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මහේන්ද්‍ර සිං දෝනි නව භූමිකාවකට පිවිසීමට සූදානම් වෙයි.
ඒ අනුව, චෙන්නායි සුපර් කිංග්ස් (CSK) කණ්ඩායමේ උපදේශකවරයා (Mentor) ලෙස දෝනි පත් කිරීමට එම කණ්ඩායම් කළමනාකාරීත්වය තීරණය කර තිබේ.
එම පත්වීම IPL 2027 තරගාවලියට පෙර ක්‍රියාත්මක වන බව චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අඟහරුවාදා නිවේදනය කර ඇත.
දෝනි 2008 වසරේ IPL තරගාවලියේ ආරම්භක අදියරේ සිටම ක්‍රීඩා කළ අතර, එතැන් සිට වසර 19ක කාලයක් එම තරගාවලියේ කැපී පෙනෙන ක්‍රීඩකයෙකු ලෙස කටයුතු කළේය.

ඔහු චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් තරග වාර 16කදී ක්‍රීඩා කර ඇති අතර, නායකයෙකු ලෙස එම කණ්ඩායම IPL ශූරතා පහක් දිනාගැනීමට දායක වී තිබේ.
ඒ අනුව 2010, 2011, 2018, 2021 සහ 2023 යන වසරවලදී දෝනිගේ නායකත්වය යටතේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම IPL ශූරතාව දිනාගැනීමට සමත් විය.
නායකත්වය, තීරණාත්මක අවස්ථාවලදී තරග අවසන් කිරීමේ හැකියාව සහ IPL තරගාවලියට ලබාදුන් දායකත්වය හේතුවෙන් දෝනි එහි ඉතිහාසයේ වඩාත්ම කැපී පෙනෙන ක්‍රීඩකයන් අතරට එක්ව සිටියි.
මේ අනුව, IPL පිටියේ ක්‍රීඩකයෙකු ලෙස ඔහුගේ ගමන අවසන් වන අතර, ඉදිරියේදී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ උපදේශකවරයෙකු ලෙස ඔහු නව වගකීමක් භාරගැනීමට නියමිතය.