වම් අතේ අස්ථිය එලියට ගෙන විනාඩි 20 කින් පසු නැවත සවිකළ ලංකාවේ විශ්මිත සැත්කම මෙන්න.
ඇය අවුරුද්දකුත් මාස දෙකක් වියැති දැරියකි. මෙකී දැරියගේ මව්පියන් වේයන්ගොඩ ප‍්‍රදේශයේ පදිංචිකරුවන් වෙති. මෙම කුඩා දැරියගේ වම් අතේ වැලමිට හා උරහිස අතර කුඩා ගෙඩියක් දක්නට විය. මේ පිළිබඳව දැරියගේ දෙමව්පියන් සැලකිලිමත් වූහ. දැරිය පළමුව කොළඹ ළමා රෝහලට රැගෙන යනු ලැබීය. ළමා රෝහල මගින් මෙම දැරිය මහරගම පිළිකා රෝහල වෙත මාරුකරණු ලැබීය. දැරිය පරීක්ෂා කරණු ලැබුවේ මහරගම රෝහලේ ළමා පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සංජීව ගුණසේකර මහතාය. සංජීව ගුණසේකර වෛද්‍යතුමන් විසින් මෙකී දැරිය බයොක්සි පරීක්ෂණයකට ලක්කරණු ලැබුවාය. එම පරීක්ෂණයේදී මෙම දැරියගේ අතේ තිබූ ගෙඩිය පිළිකා ගෙඩියක් බවට තහවුරු කරගනු ලැබීය.
ඒ වන විට දැරියගේ වම් අතේ පිළිකා ශෛල සෑහෙන දුරකට පැතිරී තිබුණි. ඉන්පසු මෙකී දැරියට සති තුනකට වරක් තෙරපි ප‍්‍රතිකාර ලබාදීමට කටයුතු කරණු ලැබීය. තෙරපි ප‍්‍රතිකාරවලට ඉතා හොඳින් ප‍්‍රතිචාර දක්වා තිබූ අතර දැරියගේ අතේ තිබූ ගෙඩියේ විශාලත්වය ද යම්තාක් දුරකට අඩුවී තිබුණි. ඒ කොයිහැටි වුවද මෙකී දැරියගේ අස්ථියේ තිබූ පිළිකා ගෙඩිය ශල්‍යකර්මයකින් ඉවත් කළ යුතු බවට සංජීව ගුණසේකර වෛද්‍යතුමන්ගේ අදහස විය. ඒ අනුව මෙම දැරිය ශ‍්‍රී ජයවර්ධනපුර රෝහලේ විකලාංග රෝග පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය කෞෂාල් කරුණාරත්න මහතා වෙත යොමු කෙරිණි. අවුරුද්දකුත් මාස දෙකක දැරියගේ අතේ අස්ථිය සමග පිළිකා ගෙඩිය ඉවත්කොට එය නැවත බද්ධ කිරීම එතරම් ලේසි පහසු කාරියක් නොවේ.
අනික් කාරණය වන්නේ මෙවැනි සැත්කමක් ගහෙන් ගෙඩි එන්නාක් මෙන් ආවාට ගියාට කළ හැකි දෙයක් නොවේ. ඒ පිළිබඳ සැලසුම් කළ යුතුය. ශල්‍යකර්මය සඳහා සහභාගි වන වෛද්‍ය කණ්ඩායම සමග සාකච්ඡා කළ යුතුය. කෞෂාල් කරුණාරත්න වෛද්‍යතුමන් විසින් කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ජනත් ලියනගේ මහතා සමග සාකච්ඡාකොට සැත්කම කළයුතු ආකාරය පිළිබඳ සාකච්ඡා කළේය. දැරියගේ සැත්කම කිරීම සඳහා තෝරාගනු ලැබුවේ කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා ශල්‍යාගාරයයි. එය තෝරා ගැනීමට විශේෂ හේතුවක් ද තිබුණි. මක් නිසාදයත් පිළිකා ඒකකය ඇතුළු අනිකුත් ඒකක ළමා ශල්‍යාගාරය ආසන්නයේ පිහිටා තිබීමයි.
කොටින්ම කියතොත් මෙය ඉතා සියුම්ව කළයුතු සැත්කමකි. ජනත් ලියනගේ හා කෞෂාල් කරුණාරත්න යන වෛද්‍යතුමන්ලා විසින් පළමුව මෙකී දැරියගේ වම් බාහුවේ ඉහළ ප‍්‍රදේශයේ තිබූ පිළිකා ගෙඩිය සමග අස්ථිය ඉවත් කිරීමට කටයුතු කරණු ලැබීය. ලේ නහර හා ස්නායුවලට කිසිදු හානියක් නොවන ආකාරයට අස්ථිය ඉවත් කිරීමට වෛද්‍යතුමන් දෙපළ කටයුතු කරණු ලැබීය. ඉන්පසු අස්ථිය විශේෂ ක‍්‍රමවේදයකට අයිස් පෙට්ටියක තැන්පත්කොට කරාපිටිය රෝහලේ පිළිකා ඒකකයට රැගෙන යනු ලැබීය. පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජයමිණී හොරොඳුගොඩ මහත්මියගේ පූර්ණ උපදෙස්මත පිළිකා අස්ථිය සඳහා රේඩියේ තෙරපි ප‍්‍රථිකාර ලබාදීමට කටයුතු කරණු ලැබීය. පිළිකා ශෛල විනාශ කිරීම සඳහා විනාඩි 20 ක පමණ කාලයක් ගතවිය. අස්ථියේ තිබූ පිළිකා ශෛල ඉවත් කිරීමෙන් පසු පැයක පමණ කාලයකින් පසු පිළිකා ඒකකයේ සිට අස්ථිය ළමා ශල්‍යාගාරය වෙත රැගෙන එනු ලැබීය. ඉන්පසු ජනත් ලියනගේ හා කෞෂාල් කරුණාරත්න යන වෛද්‍යතුමන්ලා විසින් අස්ථිය යළි දැරියගේ අතට බද්ධ කිරීමට කටයුතු කරණු ලැබීය. මෙකී සැත්කම කිරීම සඳහා පැය අටහමාරක් පමණ කාලයක් ගතවී තිබේ. අස්ථිය සාර්ථක ලෙස බද්ධ කිරීමට හැකිවී තිබේ. මෙකී සැත්කම පිළිබඳ සරලව සඳහන් කළහොත් රඹුටන් ගෙඩියකින් ඇටය ඉවත්කොට එළියට රැගෙන යළි එම ඇටය රඹුටන් ගෙඩියට දමා සවි කිරීමක් වැනි ක‍්‍රියාවකි. සැත්කමෙන් පසු දැරිය ඉතා හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන අතර ඇයගේ අතේ ඇඟිලි සාමන්‍ය අයුරින් ක‍්‍රියාකරණ බව වෛද්‍යවරු පවසති. මේ වන විට දැරියගේ අතට කිමෝ ප‍්‍රථිකාර ලබාදෙමින් ඇත්තේය.
මේ පිළිබඳ ශ‍්‍රී ජයවර්ධනපුර රෝහලේ විකලාංග රෝග පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය කෞෂාල් කරුණාරත්න මහතා අප සමග මෙසේ කීවේය.
ඇත්තටම මෙම සැත්කම නවීන වෛද්‍ය විද්‍යාවේ හාස්කමක්. මේ වන විට නවීන විද්‍යාව සාමන්‍යකරණය බවට පත්වෙලා තියෙනවා. පසුගිය කාලයේ ළමුන්ගේ අත් පාදවල මෙවැනි පිළිකා ගෙඩි ඇතිවූවිට කරපු එකම දෙය තමයි අත් පාද කපා ඉවත් කිරීම. නමුත් දැන් එහෙම කරන්නේ නැහැ. නවීන වෛද්‍ය විද්‍යාවේ දැනුම ඒ සඳහා යොදාගන්නවා. මෙහි පුරෝගාමියා තමයි පුංචිහේවා වෛද්‍යතුමන්. එතුමා ගැන සිහිපත් කළයුතුයි. මේ ශල්‍යකර්මය ඉතා අපහසු සැත්කමක්. නමුත් ප‍්‍රාතිහාරයක් නොවේ. මේ දරුවගේ බාහුවේ ඉහළ ප‍්‍රදේශය අස්ථිය පිළිකා ශෛල ආක‍්‍රමණය කොට තිබුණා. එහෙනම් මේ බබාට කෘතිම අස්ථියක් දැමිය යුතුයි. පොඩි බබෙක් නිසා කෘතිම අස්ථියක් හදන්න බැහැ. ඒ සඳහා විශාල වියදමක් යනවා. මේ දරුවාගේ පිළිකා අස්ථිය ඉවත් නොකොට විකිරණ ප‍්‍රතිකාර කළහොත් යම් ප‍්‍රමාණයකට පිළිකා ශෛල ඉතිරි වෙන්න පුළුවන්. අතටද හානියක් වෙන්න පුළුවන්.
ඒ නිසා ස්නායු හා ලේ නහරවලට හානියන් නොවන අයුරින් අස්ථිය සමග පිළිකා ගෙඩිය ඉවතට අරගෙන රේඩියෝ තෙරපි කළා. විකිරණ ප‍්‍රථිකාර කිරීම නිසා අස්ථිය මැරෙනවා. ඒ අස්ථිය තමයි දරුවාගේ අතට බද්ධ කළේ. නමුත් කාලයක් යන විට ඇගේ ශෛල තැන්පත් වෙලා එය අස්ථියක් බවට පත්වෙනවා. අස්ථිය දික්වීමට යම් කාලයක් යනවා. දරුවාගේ අත කොටවෙන්න පුළුවන් උදාහරණය වශයෙන් කිවහොත් මේ දරුවාගේ අස්ථිය එළියට ගන්න විට අමු උණ ලීයක් වගේ. පිළිකා ශෛල ඉවත්කිරීම සඳහා විකිරණ ප‍්‍රථිකාර කිරීමෙන් පසු දිරාගිය උණලියක් බවට පත්වෙනවා. නමුත් කාලයක් යන විට අස්ථිය වර්ධනය වෙනවා. නවීන වෛද්‍ය විද්‍යාව නිසා අස්ථි පිළිකා වැළඳුණු දරුවන්ගේ අත් පාද නොකපා බේරාගැනීමට හැකිවෙලා තියෙනවා. මෙවැනි රෝග සඳහා නවීන වෛද්‍ය විද්‍යාවේ යම් ආකාරයකට විසඳුම් තියෙනවා. නවින වෛද්‍ය විද්‍යාවේ දැනුම් ප‍්‍රවාහය ඉදිරියට ගාලාගෙන යනවා. නැතිව මෙවැනි සැත්කම් අද්භුත දෙයක් නෙවෙයි. මෙය තවත් සාමාන්‍ය සැත්කමක් පමණයි. නවීන වෛද්‍ය විද්‍යාවේ එක් පියවරක් පමණයි. ඇතැමුන් කෝටි ගණන් වියදම් කොට මෙවැනි සැත්කම් කිරීම සඳහා පිටරට යනවා. පුද්ගලික රෝහල්වලට යනවා. සෑම රෝගියකුටම එක විදියට සලකනවා නම් රජයේ රෝහල්වල නොමිලේ මේ සියලූ සැත්කම් කරන්න පුළුවන්. ලංකාවේ මේ වගේ සැත්කම් කරන්න පුළුවන්.
කොළඹ පිළිකා රෝහලේ වසන්ත රත්නායක මහින්ද සෝමතිලත, සංජීව ගුණසේකර යන වෛද්‍යතුමන්ලා සිහිපත් කළයුතුයි. වෛද්‍ය ජනත් ලියනගේ වෛද්‍යතුමා ඉතා හොඳ මහත්තයෙක්. අපි දම්වැලක එක කොටසක් පමණයි.
කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ජනත් ලියනගේ මහතා මෙකී සැත්කම පිළිබඳව මෙසේ කීවේය.
දරුවාට සැත්කම කළේ එංගලන්තයේ ඇමෙරිකාවේ තියෙන නවීන වෛද්‍ය විද්‍යාත්මක තාක්ෂණය යොදාගෙන.
මේ දරුවාට වැළඳී තිබුණේ අස්ථි පිළිකාවක්. මුලින්ම දරුවාගේ අතෙන් කොටසක් අරගෙන බයොක්සින් පරීක්ෂණයක් කළා. පිළිකාවක් බව තහවුරුකර ගැනීමෙන් පසු එම්. ආර්. අයි. පරීක්ෂණයක් කළා පිළිකාව පැතිරිලාද කියලා බලාගන්න. දරුවාගේ අස්ථියේ සම්පූර්ණයෙන්ම පිළිකා ශෛල පැතිරිලා තිබුණා. අස්ථිය ඉවත් නොකළ රේඩියෝ තෙරපි දෙනවිට අතට හානියක් වෙන්න පුළුවන් ඒ නිසා තමයි අස්ථිය පිළිකාවත් සමග එළියට අරගෙන පිළිකා ශෛල විනාශ කරලා යළි අස්ථිය බද්ධ කළේ. සැත්කමින් පසු දරුවාගේ අත හොඳට වැඩකරනවා. ඇඟිලි වැඩකරනවා. යළි පිළිකා ශෛල ඇතිවේද කියා පරීක්ෂා කළ යුතුයි. වසර දෙකක් පහක් යනකම් ඒ ගැන පරීක්ෂණ කරමින් පසුවිපරමක් කළයුතුයි. දැඩිසත්කාර ඒකකයේ වෛද්‍යවරුන් වන ප‍්‍රදීප්, දේශප‍්‍රිය ඇතුළු කාර්යමණ්ඩලයේ සියලූ දෙනාට ස්තුති කරනවා යැයි ජයන්ත ලියනගේ මහතා සඳහන් කළේය.
පිළිකා රෝගය ද උණ හෙම්බිරිස්සාව වැනි රෝගි තත්ත්වයක් බවට මේ වන විට ප‍්‍රචලිතව ඇත්තේය. පවුලේ අයෙකුට පිළිකාවක් වැළඳුණු විට පිළිකාව වැළඳුණු පුද්ගලයා පමණක් නොව එකී පවුලේ සියලූ දෙනා දැඩි අසරණ තත්ත්වයට පත්වෙති. පිළිකාවට ලොකු කුඩා වයස් බේදයක් නැත. ලෝකයේ වෙනත් රටවල දරුවන්ට මෙන්ම අපේ රටේ දරුවන් ද පිළිකා රෝගයට ගොදුරු වෙති. අවුරුද්දකුත් මාස දෙකක දරුවකුට පිළිකාවක් වැළඳුණුවිට ඒ දරුවගේ දෙමව්පියන්ට ඇතිවන හැඟීම ගැන අමුතුවෙන් කිව යුතු නැත. අප මේ කියන්නට යන්නේ අවුරුද්දකුත් මාස දෙකක් වියැති කුඩා දැරියකගේ වම් බාහුවේ ඉහළ අස්ථියේ තිබූ පිළිකා ගෙඩියක් අස්ථිය සමග ඉවත්කොට නැවත බද්ධ කිරීමේ විස්මිත සැත්කමක් නිසා මෙකී දැරියගේ අත නොකපා බේරාගැනීමට හැකිවිය. මෙවැනි සැත්කමක් සිදුකොට ඇත්තේ ලංකාවේ පළමු වරටය.