සෑම ගෙදරකටම මාලිමා ආණ්ඩුවෙන් ලක්ෂ 12ට ලැබෙන Vitz එක ගැන ඇහෙන අමුතු කතාව. - බදු ප්‍රතිශතය 40% කින් ඉහළට.
ඉදිරි අයවැයෙන් පසු සෑම ගෙදරකටම රුපියල් ලක්ෂ දොලහකට විට්ස් වර්ගයේ මෝටර් රථයක් ලබාගැනීමට හැකිදැයි පසුගියදා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර විසින් නියෝජ්‍ය ඇමති නලින් හේවගේ ගෙන් ප්‍රශ්න කර සිටියා.
ඔහු පෙන්වා දුන්නේ, ලක්ෂ 12කට විට්ස්(Vitz) වර්ගයේ මෝටර් රථයක් ගත හැකි බවට එකල ඔහු මැතිවරණ වේදිකාවේ ප්‍රකාශ කළ බවත්, ඒවා පිළිගෙන ජනතාවද ජාතික ජන බලවේගයට ඡන්දය ලබාදුන් බවත්ය.
කෙසේ වෙතත් එම සිදුවීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධ වෙබ් පිටුවක් විශේෂ වාර්තාවක් පළ වී තිබුණා.
එම වාර්තාව පහතින්,
දේශපාලන පක්ෂ විසින් මැතිවරණ සමයන්හිදී ප්‍රචාරය කරනු ලබන දැන්වීම් හරහා කරන්නේ ඡන්දදායකයන්ගේ නිල ඇල්ලීමය. අඩු ආදායම්ලාභීන්, විශ්‍රාමිකයන්, රජයේ සේවකයන්, තරුණයන්, කාන්තාවන්, වැඩිහිටියන්, සුළු ජාතිකයන් ඇතුළු මෙකී නොකී හැම දෙනාගේම නිල අල්ලන්නේ මේ දැන්වීම් හරහා හෝ වේදිකාවේ දෙන පොරොන්දු මගිනි.
බොහෝ කලක සිට මධ්‍යම පාංතිකයන්ගේ නිල ඇල්ලීමේදී මේ දේශපාලන පක්ෂ විසින් දමන එක් ඇමක් වන්නේ අතේ ඇති මුදලට මෝටර් රථයක් මිලට ගැනීමට පහසුකම් සලසන්නේය යන්නය.
“පිටරටකචදී නම් හොඳම තත්ත්වයේ වාහනයක් ගන්න මාසෙක පඩියකින් පුළුවන්. අපේ රටේ උපන්දා සිට මැරෙනකම් ලැබෙන සල්ලි එකතු කළත් ගන්න පුළුවන් වෙන්නෙ ට්‍රැක්ටරේක රෝදයක් විතරයි. ජපානයේ හදන හොඳ විට්ස් කාර් එකක් ලක්ෂ 12 කට ලංකාවට ගෙනැත් දෙන්න පුළුවන්. ඒ ගාණට විට්ස් කාර් එකක් ගෙනැත් දෙනවා නම් ඕගොල්ලො හැමෝටම ගන්න පුළුවන්. හැබැයි කාර් එකට ලක්ෂ හැත්තෑවක, අසූවක බද්දක් ගහනවා. මේවා ගන්න බැරි වාහන මිල වැඩි හින්දා නොවෙයි. මේ තක්කඩි පාලකයො නිසයි ගන්න බැරි. හැබැයි රනිල්ගෙ වාහනේ ලක්ෂ තුන්දහස් නවසිය අනූ පහයි. රනිල්ගෙ වෙඩි නොවදින වාහනේ රෝදයක් විතරක් ලක්ෂ පනහයි. අපි සහතික කරලා කියනවා අවුරුදු දහයක් යන කොට ලංකාවෙ හැම ගෙදරකටම වාහනයක් ගන්න පුළුවන් ආර්ථිකයක් හදනවා.’’
මාලිමා ආණ්ඩුවේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සහ වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය, නලින් හේවගේ මේ කතාව කීවේ පසුගිය මහ මැතිවරණය වෙනුවෙන් හබරාදූවේදී සංවිධානය කළ මහජන රැලියක දීය. නලින් හේවගේගේ එකී ප්‍රකාශය මාලිමාවට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා මෙරට මධ්‍යම පංතියට උත්තේජ දුන් බව අමුතුවෙන් කිව යුතු නැත්තේය.
පසුගිය වසරේ දෙසැම්බර් දහඅට දින ජනපති අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් වාහන ආනයන සීමා ලිහිල් කරන බව පැවැසීම මාලිමාවට ඡන්දය දුන් මෙන්ම නොදුන් සියලු දෙනාගේ අමන්දානන්දයට හේතු වූවාට ද සැකයක් නැත්තේය.
එහිදී ජනපතිවරයා කියා සිටියේ කාණ්ඩ වශයෙන් වාහන වෙළෙඳපොළ විවෘත කිරීමට තමා සූදානම් බවය. එමෙන්ම පසුගිය දෙසැම්බර් දහහතර වෙනිදා සිට මගී ප්‍රවාහන බස් සහ විශේෂ කාර්යයන් සඳහා වන මෝටර් රථ ආනයන සීමා ලිහිල් කළ හෙතෙම, ලබන පෙබරවාරි පළමුවැනිදා සිට භාණ්ඩ ප්‍රවාහනය සඳහා වන මෝටර් රථ සහ පෞද්ගලික ප්‍රයෝජනය සඳහා වන වාහන ගෙන්වීමට තිබූ සීමා ලිහිල් කිරීමට ද කටයුතු කළේය.
මෙම ලිහිල් කිරීම වන්නේ වසර පහක් තිස්සේ පෞද්ගලික වාහන ආනයනය තහනම්ව පැවැති වටපිටාවකය. එමෙන්ම වසර ගණනාවක් බංකොලොත් රාජ්‍යයක් ලෙස හංවඩු ගැසී සිට, විනිමය අර්බුදයකට ද මුහුණ පා සිටි සමයන් අවසන් වීමත් සමගය. එබැවින් මෙවර වාහන ආනයනය කළ යුත්තේ රටේ අපහසුකම් මැද ගොඩනැගී ඇති තත්ත්වයට හානියක් නොවන අයුරින් බව අමුතුවෙන් කිව යුතු නොවන්නේය.
ඒ අනුව, නිෂ්පාදිත වර්ෂයේ සිට අවුරුදු 10 කට නොවැඩි වාහන සඳහා 200% සහ 300% ප්‍රතිශතවලින් බදු පනවා තිබේ. ඇතැම් වාහනවලට ඇන්ජින් සිලින්ඩර් ධාරිතාව සහ කිලෝවොට්වලින් මනිනු ලබන බලය මත පදනම්ව බදු අයකිරීමට නියමිතය.
මෙවැනි තත්ත්වයක් යටතේ පවා වාහන ආනයනය කරනු ලබන මහා පරිමාණ සමාගම් වෙත මේ වන විටත් විශාල ඇණවුම් ප්‍රමාණයක් ලැබී අවසන්ය. ටොයෝටා ලංකා සමාගමට පමණක් අලුත්ම වාහන (බ්‍රෑන්ඩ් නිව්) දස දහසක ඇණවුමක් ලැබී ඇතැයි එහි ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරී ප්‍රසන්න ද සිල්වා පවසන්නේය. අනෙක් සමාගම් මෙන්ම පෞද්ගලික වාහන ආනයනකරුවන් වෙත කොතරම් ඇණවුම් ප්‍රමාණයක් ලැබී ඇද්ද යන්න ඔවුන් ප්‍රකාශ කර නැත්තේය.
කෙසේ වෙතත් අලුත් වාහනයක් ගැනීමේ සිහිනය ඇති හැත්තෑ පන්දහසකට වැඩි ප්‍රමාණයක් මෙරට සිටින බව අනුමාන කෙරෙන්නේය. මේ පිරිස දැන් මැසිවිලි නගන්නේ තම සිහින බොඳවී යාමේ තත්ත්වයක් පෙනෙන්නට ඇති බව පවසමින්ය.
ඊට හේතුව වාහන ආනයන සීමා ලිහිල් කිරීමත් සමගම අලුත් වාහන සඳහා වන බදු සීමා පුළුල් කිරීමට ආණ්ඩුව ගෙන ඇති තීන්දුවය.
එමෙන්ම බදුවලට අමතරව වාහන ආනයනයේදී අනුගමනය කළ යුතු කොන්දේසි 07 ක්ද මුදල් අමාත්‍යාංශය විසින් මේ වන විට ප්‍රකාශයට පත්කර ඇත්තේය.
ආනයනය කරනු ලබන මෝටර් වාහන ආනයන බිල්පත්‍රය හෝ රේගු සටහන්කරයේ දිනයේ සිට දින 90 ක් තුළ ලියාපදිංචි කළ යුතුය යන්න ඉන් පළමුවැනි කොන්දේසිය වන්නේය. නියමිත දිනයට ලියාපදිංචි නොකළහොත් සී.අයි.එෆ්. වටිනාකමින් 45% ක උපරිම සීමාවකට යටත්ව 3% ක ප්‍රමාද ගාස්තුවක් ගෙවිය යුතුය යන්න එහි දෙවැනි කොන්දේසියයි. වාණිජ අරමුණෙන් මෙරටට ගෙන්වන මෝටර් රථ ගැණුම්කරුවන්ගේ නමට ලියාපදිංචි කළ යුතු බවද, කිසියම් ආනයනකරුවෙක් මාස හයක් මෙම රෙගුලාසි මගින් පනවන ලද දින 90 ක් තුළ ලියාපදිංචි කිරීමේ අවශ්‍යතාව උල්ලංඝනය කරමින් ආනයනය කළහොත් එකී ආනයනකරුට වාහන ආනයනය කිරීම අවම වශයෙන් මාස 36 ක් තහනම් කරන බවද මීළඟ කොන්දේසිය. තවද, යම් ආනයනකරුවකු මෙම රෙගුලාසි හෝ දැනට ක්‍රියාත්මක වන රෙගුලාසිවලට පටහැණිව මෝටර් වාහනයක් ආනයනය කළහොත් එය දින 90 ක් තුළ ප්‍රතිඅපනයනය කළ යුතු අතර ඒ සම්බන්ධයෙන් වන සියලු පිරිවැය ද දැරිය යුතු බවත්, මෝටර් රථයේ වයස නිර්ණය කිරීමේදී එහි නිෂ්පාදිත දිනය සහ නෞභාර පත්‍රයේ / ගුවන් භාර පත්‍රයේ දිනය අතර කාලය ගණනය කළ යුතු බවත් මෝටර් එන්ජින් භාවිත නොවන නමුත් රෝද සහිත අයිතම ආනයනය කිරීමේදී මින් පෙර භාවිත නොකළ නවතම අයිතම ආනයනය කළ යුතු බවත් සෙසු ඒවාය.
මෙසේ කොන්දේසි පැනවීමට හේතු ලෙස මුදල් අමාත්‍යාංශය දක්වා ඇත්තේ, සැලකිය යුතු ලෙස විදේශ විනිමය වැය කර මෝටර් වාහන විශාල ප්‍රමාණයෙන් ආනයනය කරමින් වාහන තොග රැස් කිරීම අධෛර්යමත් කිරීමත්, මෙරට විදේශ විනිමය සංචිත ආරක්ෂා කර ගැනීමේත් අරමුණ ඇතිවය.
එබැවින් මේ කොන්දේසි සහ බදුවලට යටත්ව වාහන ගෙන්වීම කරන ආකාරය පිළිබඳ අපි ලංකා වාහන ආනයනයකරුවන්ගේ සංගමයේ ලේකම්, ප්‍රසාද් මානගේගෙන් විමසුවෙමු. ඔහුගේ පිළිතුරු අපේක්ෂාවෙන් අප යොමු කළ බොහෝ ප්‍රශ්නවලට ඔහු පිළිතුරු දීම ප්‍රතික්ෂේප කළේය.
“ආනයනය කරන වාහනවලට ගහන බදු කොපමණද කියලා රජයෙන් තාම සකස් කරලා නැහැ. ඒ නිසා බදු වදින්නෙ කොහොමද කියලා හරියටම කියන්න බැහැ. ඒ හින්දා වාහනයක් කොච්චර මිලක් වැඩිවේද කියලා තවම කියන්න බැහැ.’’
ප්‍රසාද් මානගේ කියන්නේ එවැනි කතාවක්ය.
එහෙත් ජනවාරි 15 වනදා බී.බී.සී. වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ රජයේ බදු සංශෝධන සමග වාහන මිලදී ගැනීමට අපේක්ෂාවෙන් සිටි අයගේ සිහින සැබෑ කර ගැනීමට අපහසු වන බවය.
“සමහර වාහනවල මිල ලක්ෂ පහයි දහයයි අතර වැඩි වෙනවා. කලින් වාහන ආනයනය නවත්වපු කාලයට වඩා වැඩි බද්දක් දැනට පනවලා තිබෙනවා. ඊට අමතරව ඕකට වැට් බද්ද එකතු වෙනවා. ඒ අනුව පෙර පැවැති බදු ප්‍රතිශතයට වඩා වාහනවලට අදාළ බදු ප්‍රතිශතය 40% කින් පමණ ඉහළ යන්න පුළුවන්. සිලින්ඩර් ධාරිතාව 1000 වගේ ටොයෝටා විට්ස් කාර් එකක් ගත්තොත් ලක්ෂ විස්සයි ටැක්ස් එක තිබුණෙ. අලුත් ක්‍රමයට බදු වැඩි කරපුවාම ලක්ෂ විසි හතරහමාරක් විතර වෙනවා. ඒකට වැට් බද්දත් එකතු වුණාම සාමාන්‍යයන් බදු විතරක් ලක්ෂ තිස් පහක් වගේ වේවි.’’
බීබීසී සන්දේශයට අදහස් දක්වමින් ඔහු කීවේ එවැනි කතාවක්ය.
වාහනය මිල තීරණය වීමට බලපාන සාධක ගණනාවක්ම ඇත්තේය. ඉන් ප්‍රධානම සාධකය වන්නේ එකී වාහනය නිෂ්පාදනය කළ රටේ කර්මාන්ත ශාලාවේදී ඊට ඇතුළත් වන මිලය. ඉන් අනතුරුව එය ආනයනය කරනු ලබන රටට ගෙන්වන සී.අයි.එෆ්. අගය වන්නේය. සී.අයි.එෆ්. අගය යනු Cost, Insurance and Freight හෙවත් වියදම්, රක්ෂණ සහ නැව් හා ප්‍රවාහන ගාස්තු ඇතුළත් කාර්යය උපාය පිරිවැය සහිතව කරන මිල කිරීමය. ජපානයේ නිෂ්පාදනය කරනු ලබන වාහනයක් ශ්‍රී ලංකාවට ගෙන ඒමේදී සී.අයි.එෆ්. ක්‍රමයට වාහනයක මිල කියන්නේ නම් ජපානයේ හෝ නිෂ්පාදිත රටේදී මිලත්, එම වාහනය ජපානයේ වරායට ගෙනැවිත්, එතැන් සිට රක්ෂණයද සහිතව නැවකින් මෙරට වරායට ගොඩබාද්දී සටහන් කෙරෙන මිලය.
ඉන් අනතුරුව වරායෙන් පිටතට ගැනීමට පෙර රේගු බදු සහ වැට් ඇතුළු තවත් බදු කිහිපයක් එකී වාහනය මත පනවන්නේය. එතැනදී එම වාහනයේ මිල තවත් ඉහළ යන්නේය.
ඉන් අනතුරුව ආනයනකරුවන් ද සැලකිය යුතු ලාභයක් තබා ගන්නේය. ඇතැම් වාහන ආනයනකරුවන් රජය පනවන බද්දට සමානවූ ලාභයක් ද මේ වාහන මත පනවන්නේය.
ගැණුම්කරුවකුට ලැබෙන මිල නියම වන්නේ මේ සියල්ල එක්වීමෙන් අනතුරුවය.
ආනයනකරුවන් කියන්නේ මීට පෙර පැවැති තත්ත්වයට වඩා අලුතින් ගෙන්වන වාහන මිල වැඩි බවය. අලුත් ආනයනික වාහන මිල වැඩිවීමට හේතුවූ සාධාරණ කරුණු ගණනාවක් ද ඇත්තේය. ඉන් එකක් වන්නේ විනිමය අනුපාත දෙගුණ වීමය. අවසන් වරට වාහන ගෙන්වූයේ ගෝඨාභය රාජපක්ෂගේ පාලන සමය ආරම්භයේදීය. ඒ සමයේ ඩොලරය තිබුණේ 180 ටය. පසුව ආර්ථික අර්බුදය නිසා ඩොලරයේ අගය ඉතා විශාල ලෙස ඉහළ ගියේය. වාහන තබා ඉන්ධන ගෙන්වීමටවත් මෙරට විදේශ විනිමය නොතිබුණේය. එම තත්ත්වය පහව ගොස් දැන් ඩොලරයේ රුපියල් අගය 290 ක්ය. පැවති තත්ත්වයට වඩා රුපියල ශක්තිමත්ව තිබුණද 2019 මුල් සමයට සාපේක්ෂව දෙගුණයකින් ඩොලරයේ අගය වැඩිවී ඇත්තේය. එබැවින් වාහන මිල වැඩිවීමට එයද බලපාන්නේය.
අවසන් වරට වාහන ගෙන්වන සමයේදී වැට් බදු අයකළේ 15% ක ප්රතිශතයකින්ය. එහෙත් දැන් වැට් බද්ද 18% ක ප්‍රමාණයකින් අයකරන්නේය. රේගු බදු මෙන්ම වෙනත් බදු ප්‍රතිශතයන්ද මේ වන විට ඉහළ අගයක පවතින්නේය.
මෙවැනි තත්ත්වයක් පවතිද්දී වාහන ආනයනකරුවන් ඉල්ලා සිටින්නේ බදු පහළ දමන ලෙසත්, ජනතාවගේ මිලදී ගැනීමේ හැකියාව අඩුවීම සලකා වසර 7 ක් දක්වා භාවිත කරන ලද වාහන ආනයනය සඳහා අවසර ලබා දෙන ලෙසත්ය. යම් හෙයකින් ඔවුන් ඉල්ලා සිටින එකී යෝජනාව රජය බැහැර කළොත් වාහනවල මිල විශාල ලෙස ඉහළ යා හැකි බවද ආනයනකරුවන්ගේ අදහසය.
“ජනතාවට සාධාරණ මිලට වාහනයක් මිලදී ගැනීමේ හැකියාව තමයි රජය විසින් සුරක්ෂිත කරන්න ඕනේ. රජය යම් ප්‍රමාණයකින් බදුත් ඉහළ දා ගත්තා. මෙතනින් වාහන ආයනය කරන කාල සීමාව අඩු කළොතින් වාහනවල මිල ඉහළ යන එක වළක්වන්න බෑ.’’
වෙළෙඳපොළේ වාහන මිලට හේතුව රජයේ බදු පමණක් නොවන්නේය. වාහන ආනයනකරුවන් වාහන මත පනවා ඇති අධික ලාභයද ඊට අයත්ය. ඔවුන් වාහන මිල ගැන මෙතරම් කෑ මොර දෙන්නේ ජනතාවට ඇති ආදරයක් නිසාම නොවන්නේය. රජයේ බදු අඩු කර ගැනීමේ වැදගත්කම පෙන්වා දෙන ඔවුන් වාහන මත පටවා ඇති තම ලාභාංශයෙන් කොටසක් කැප කිරීමට උනන්දු නොවන්නේය.
“වාහන ගෙන්වනවා කියලා තීරණය කරලා තිබුණ දවසේ ඉඳලා පරණ වාහන විකුණන්න දමන දැන්වීම්වලටවත් ප්‍රතිචාර ලැබෙන්නෙ නැහැ.’’
පැරණි වාහන අලෙවි කිරීමේ යෙදී සිටින බ්‍රෝකර්වරයෙක් අප සමග කීවේ එවැනි කතාවක්ය.
එසේ අදහස් දැක්වූවන්ට ද නව තත්ත්වය යටතේ යම් සැනසිලිදායක තත්ක්වයක් උදාවී ඇති සේය. ඒ, අලුත් වාහන මිල වැඩිවීම නිසා උද්ගතව ඇති තත්ත්වය යටතේය. අලුත් වාහන මිල වැඩි නිසා සෙකන්ඩ් හෑන්ඩ් මාකර් එක හෙවත් මෙරට භාවිතා කළ වාහන මිලදී ගැනීමේ ප්‍රවණතාව ඉහළ යන්නේය. පැරණි වාහන වෙළෙඳපොලේ මිල තීන්දු වන්නේ අලුතින් ගෙන්වන වාහන වල මිලට සාපේක්ෂව වීම නිසා භාවිතා කළ වාහන වැඩි මිලට විකුණා ගැනීමට ඔවුන්ට හැකියාව ලැබෙන්නේය.
මෙය පාරිභෝගිකයන්ගේ පැත්තෙන් බලන කල, ඔවුන්ට අල්ලපු අත්තත්, පය ගැසූ අත්තත් දෙකම නැතිවෙන හැඩය. එනම් අලුත් වාහනයක් ගැනීමට ඇති අවස්ථාව මෙන්ම, අඩු මුදලට පැරණි වාහනයක් ගැනීමට සිටි දෙපිරිසටම ද අවස්ථා ඇහිරෙන්නේය. අනෙක් පැත්තෙන් රීකන්ඩිෂන් හෝ අලුත්ම වාහන වැඩි ප්‍රමාණයක් ආනයනය කර අලෙවි කිරීමට පුල පුලා බලා සිටි වාහන ආනයනකරුවන්ගේ ද ඉලක්ක සපුරා ගැනීම අසීරු වන්නේය.
අද තත්ත්වය අනුව වාහන වෙළෙඳපොළ ඇත්තේ අවිනිශ්චිත තත්ත්වයකය.
You May Like This Video