සභාපතිතුමෝ මම හරක් මරන්නේ නෑ- තමන්ව මරන්න යන එක ලසන්ත කලින්ම දැනගෙන ඉදලා
වැලිගම ප්‍රාදේශීය සභා සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා අද (22) උදෑසන 10.20ට පමණ වැලිගම ප්‍රාදේශීය සභාවේ ඔහුගේ කාමරය තුළදී ඝාතනයට ලක් වවීමත් සමග පාතාල ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් යළි කතා බහක් මතුව තිබේ.
මෙම ඝාතනයට හේතු වී ඇත්තේ මොහු 'ශන්ෂයින් සුද්දා' නැමැති අපරාධ කල්ලි සමාජිකයා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙකු ලෙස අත්අඩංගුවට පත්ව තිබීමත් මොහුට විරුද්ධව අධිකරණය තුළ නඩු 06ක් පවතින අතර මොහු අත්හිටවූ සිරදඬුවම් මත සිට ඇති බවද පොලීසිය සඳහන් කළේය.
එමෙන්ම ලසන්ත වික්‍රමසේකර මහතා මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවට පැවසෙන මේවන විට බන්ධනාගාර ගතව සිටින නඳුන් චින්තක හෙවත් 'හරක් කටා' සමග සමීප සබඳතාවක් පවත්වා ඇති බවට ද අනාවරණය වී ඇත.
හරක් කටාගේ කල්ලියේ ප්‍රධානීන් වන 'මිදිගම චූටි' හා මිදිගම රුවන් සමග ද ඔහු සමීප ඇසුරක් පවත්වා ඇතැයි විමර්ශනවලදී හෙළිවී තිබේ. පසු කලෙක මිදිගම රුවන් එම කණ්ඩායමෙන් වෙන් වී ඇති අතර අනතුරුව ඔහුගෙන් වික්‍රමසේකර මහතාට මරණ තර්ජන එල්ලවී ඇති බව පොලීසිය පවසා ඇත. බන්ධනාගාරගතව සිටින මිදිගම රුවන් එහි සිට ෆේස්බුක්හි පෝස්ටුවක් පළකර ඇත.
''ගරු සභාපතිතුමෝ, ඔයා දැන් සුදු ඇන්දට අමතක කරන්න එපා ඔයා කළු අඳින කාලේ අපි ඔක්කොම එකගොඩේ හිටිය වග. බොරු කියලා නාට්ටි දාලා මගේ එක කොල්ලෙක් හරි හිරකරන්න හැදුවොත් මම ඇත්ත කියලා ඔයාගේ සුදු රෙද්ද ඔළුවෙන් ගලවලා දාන්න දෙපාරක් හිතන්නේ නැහැ. අනික උඹට මම ගහන්න ඉන්නවා කිය කියා එක එකාට කියන්න එපා. මම ප්‍රතිපත්තියක් වශයෙන් හරක් මරන්නේ නෑ.'' යනුවෙන් එහි සටහන් කර තිබිණි.
එලෙස එල්ල වූ තර්ජන හමුවේ ලසන්න වික්‍රමසේකර මහතා පසුගිය අගෝස්තු මස 29 වනදා තම ජීවිත ආරක්ෂාව සම්බන්ධයෙන් සුදුසු පියවරක් ගන්නා ලෙස පොලිස්පතිවරයාගෙන් ඉල්ලා ලිපියක් යොමුකර ඇත. එහි දැක්වෙන්නේ තමන්ට විවිධ පාර්ශ්වයන්ගෙන් මරණ තර්ජන එල්ලවී ඇති බවය.
"මා අධිකරණයට පැමිණෙන අවස්ථාවකදී හෝ ප්‍රාදේශීය සභාවට පිටත්ව යන අවස්ථාවකදී මා ඝාතනය කිරීමට ඔවුන් උත්සාහ දරන බවට මා හට විශ්වාසයක් පවතින බව සැළකර සිටිමි. මේ සම්බන්ධයෙන් ප්‍රධාන පාතාල කල්ලි ගණනාවක් මා හට තර්ජන එල්ලකර ඇත. ඔවුන් මා ඝාතනය කරන බවට පවසා ඇති බවට මා හට, විශ්වාසදායක තොරතුරු ලැබී ඇති බව සැළකර සිටිමි. සමාජ මාධ්‍යයන් ඔස්සේ මාගේ ජීවිතයට තර්ජනයක් වන ආකාරයෙන් මිදිගම රුවන් හෙවත් රුවන් ජයසේකර නැමැති පුද්ගලයා විසින් මුහුණුපොත හරහා පෝස්ටුවක් පළකර ඇති ආකාරයක් මාහට දැනගැනීමට හැකියාව ලැබුණා. මෙම සියලු තත්ත්වයන් හේතුවෙන් මාගේ ජීවිතයට බරපතළ තර්ජනයක් එල්ල වී ඇති බවට මා හට දැනෙන බැවින්ද, ඒ බවට දැන් දැන් සිදුවන තර්ජන ඉතා ශීඝ්‍රයෙන් වර්ධනය වී ඇති බැවින්ද මාගේ ජීවිත ආරක්ෂාව සම්බන්ධයෙන් සුදුසු ක්‍රියාමර්ගයෙක් ගැනීමට කටයුතු කරන මෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි."
කෙසේ වෙතත් ඔහුගේ ජීවිතය පිළිබඳව එම වකවානුවේදී තර්ජනයක් එල්ල වී නොතිබූ බව පොලීසිය සඳහන් කළේය. නමුත් සභාපතිවරයා විවිධ ස්ථානවල සැඟවී සිටිමින් සිට ඇති අතර සභාවාරයන් සඳහා පමණක් වැලිගම ප්‍රාදේශීය සභාවට පැමිණ ඇතැයි පොලිස් විමර්ශනවලදී හෙළිවී ඇත.
මේ අතර වැලිගම ප්‍රාදේශීය සභාවේ ජාතික ජනබලවේගයේ සභික නීතීඥ තාරක නානායක්කාර මහතාගේ නිවසට ඉකුත් ජූලි මස 16 වනදා වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූයේද ලසන්න වික්‍රමසේකර මහතාටය. එයද මිදිගම රුවන්ගේ පාර්ශ්වය විසින් සිදුකර එහි චෝදනා ඔහු වෙත එල්ලකීරීමට උත්සාහ දරා ඇති බව පොලීසිය සිදුකළ දීර්ඝ විමර්ශනයේදී හෙළිවී ඇත.
ඒ අනුව පොලීසිය සැක පළකරන්නේ ලසන්න වික්‍රමසේකර මහතාව මිදිගම රුවන්ගේ පාර්ශ්වය විසින් ඝාතනය කර ඇති බවය. සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ සෘජු අධික්ෂණය යටතේ කණ්ඩායම් 04ක් විසින් සිදු කරනු ලබයි.
මේ අතර ලසන්ත වික්‍රමසේකර මහතා පසුගිය පළාත් පාලන ඡන්දයේදී සමගි ජනබලවේගයෙන් තරග වැද ජයග්‍රහණය කළ අතර ඔහු එහි සභාපති ධූරයට පත්වූයේ ඒ සඳහා පාර්ශ්ව දෙකක් අතර පැවති මතභේදාත්මක තත්ත්වයකින් පසුව වීමද විශේෂත්වයකි.