රට ගිහින් ආයේ ලංකාවට ආව අයට රජයෙන් ඉඩම්..අවශ්‍ය වැඩපිළිවෙළ සකසන්න ජනපතිගෙන් උපදෙස්
විදෙස්ගත ශ්‍රමිකයන් සිය සේවා කාලය අවසන් කර යළි රටට පැමිණි පසු ඔවුන්ගේ අනාගත අභිවෘද්ධිය සඳහා වන ආයෝජන වෙනුවෙන් ව්‍යාපෘති සේවාවන්ද සහිතව ඌණ උපයෝජිත ඉඩම් ලබා දීම සඳහා වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබා දී ඇත.
අද (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය සහ 2027 අයවැය යෝජනා පිළිබඳ සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මෙම උපදෙස් ලබා දී තිබෙනවා.
එහිදී වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය යටතේ වන වැවිලි අංශය, ප්‍රජා යටිතල පහසුකම් අංශය සහ රාජ්‍ය වැවිලි සමාගම්වලට අයත් ආයතන මඟින් ක්‍රියාත්මක කරනු ලබන සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ 2027 වසරේ සැලසුම් මෙන්ම ප්‍රතිපාදන අවශ්‍යතා පිළිබඳ පුළුල් ලෙස සාකච්ඡා කර ඇත.
එසේම රුපියල් මිලියන 1,081ක ප්‍රාග්ධන ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක වැවිලි අංශයේ වතු ඉඩම් වටමැනුම් වැඩසටහන, පොල් වගාවේ රෝග පාලනය සහ මර්දන වැඩසටහන, කප්රුක අරමුදල, පොල් නිෂ්පාදනය ඉහළ නැංවීම සහ උතුරු පොල් ත්‍රිකෝණ වැඩසටහන පිළිබඳවද මෙහිදී අවධානය යොමු කර තිබෙනවා.
මේ අතර ජනාධිපතිවරයා වැවිලි ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ක්‍රියාත්මක වැඩසටහන්වල ප්‍රගතිය මෙහිදී විමසා බැලූ අතර මලෛගම් ජනතාව සඳහා නිවාස 10,000ක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය නිසි කාලය තුළ අවසන් කර ජනතා අයිතියට පවරා දීමේ අවශ්‍යතාව ද අවධාරණය කර සිටියා.
එසේම විදේශ ආධාර සහ ණය යෝජනා ක්‍රම යටතේ ලැබෙන ව්‍යාපෘති කාර්යක්ෂමව සහ ඵලදායීව ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණයේ පවතින ගැටලු නිසා ඇතැම් ප්‍රතිපාදන ආපසු ගොස් ඇති බවද ජනාධිපති අනුර කුමාර මහතා මෙහිදී පෙන්වා දුන්නා.
තවඩ්ජ දිට්වා ආපදා තත්ත්වයෙන් හානියට පත් තේ, පොල් සහ රබර් ආදී වැවිලි භෝග යළි වගා කිරීම සඳහා සහන සැලසීමේ වැඩපිළිවෙළෙහි ප්‍රගතියද ජනාධිපතිවරයා විමසා බැලූවා.
එහිදී තේ, පොල්, රබර් සහ කජු, තල් ආදී බෝග වගාවල මෙන්ම යටිතල පහසුකම් සංවර්ධනයේදී පසුගිය වසරට සාපේක්ෂව වර්ධනයක් සහ ලාභයක් මේ වසරේ අත්කරගෙන තිබෙන බවත්, විශේෂයෙන් ඇල්කඩුව වැවිලි සමාගම, කුරුණෑගල වැවිලි සමාගම, හලාවත වැවිලි සමාගම, ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව, ජනතා වතු සංවර්ධන මණ්ඩලය, කළුබෝවිටියාන තේ කර්මාන්තශාලා සමාගම ඇතුළු රාජ්‍ය වැවිලි සමාගම් 06ද වේගයෙන් තමන්ගේ ලාභය ඉහළ නංවා ගනිමින් සිටින බවත් හෙළි විය.
එමෙන්ම තේ පර්යේෂණ ආයතනය යටතේ ක්‍රියාත්මක බෝග නිෂ්පාදනය සහ ආශ්‍රිත බෝග වැඩිදියුණු කිරීම, පර්යේෂණ සහ සංවර්ධන කටයුතු මෙන්ම කුඩා තේ වතු යළි වගාව සඳහා ආරම්භ කර තිබෙන වැඩපිළිවෙළ පිළිබඳවද විශේෂ අවධානය යොමුව ඇත.
ඊට අමතරව එහිදී ශ්‍රී ලංකාවේ තේ වගාවෙන් හෙක්ටයාර් 60,000ක් පමණ කුඩා තේ වතු බවත්, කුඩා තේ වතු යළි වගා කිරීම සඳහා 2026 අයවැයෙන් වෙන් කළ රුපියල් මිලියන 450.06ක ප්‍රතිපාදනවලින් මිලියන 155.07ක් මේ වන විට වැය කර ඇති බවත් අනාවරණය විය.
තවද ජනාධිපතිවරයා කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය යටතේ ක්‍රියාත්මක තේ ගම්මාන 500ක ව්‍යාපෘතියේ ප්‍රගතියද විමසා බැලූ අතර ග්‍රාමීය ලෙස ක්‍රියාත්මක “ප්‍රජාශක්ති” වැනි අනෙකුත් සංවර්ධන වැඩසටහන් සමග ඒකාබද්ධ වෙමින් එහි කටයුතු කඩිනමින් අවසන් කරන ලෙසත් උපදෙස් දී සිටියා.
රබර් වගාව නැවත ප්‍රවර්ධනය සඳහා රබර් පර්යේෂණ ආයතනය සඳහා 2026 අයවැයෙන් රුපියල් මිලියන 137ක ප්‍රතිපාදන වෙන් කර ඇති අතර, රබර් යළි වගාව සඳහා ක්‍රියාත්මක වැඩපිළිවෙළ සහ එහිදී මතුව ඇති ගැටලු පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක් විය.
එමෙන්ම පොල් කර්මාන්තය සංවර්ධනය, පොල් ඉඩම්වල ඵලදායීතාව වැඩි කිරීම, නව නිෂ්පාදනය සංවර්ධනය සහ අගය එකතු කිරීමේ සහ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම සඳහා ක්‍රියාත්මක වැඩසටහන් සහ පර්යේෂණ කටයුතුවල ප්‍රගතියද මෙහිදී සාකච්ඡාවට ලක් වූ අතර තල් සහ කිතුල් කර්මාන්ත ශක්තිමත් කිරීම සඳහා තල් සංවර්ධන මණ්ඩලය සහ කිතුල් සංවර්ධන මණ්ඩලය යටතේ ක්‍රියාත්මක වැඩසටහන්හි ප්‍රගතියද විමසා බලා ඇත.
එමෙන්ම මෙරට වාර්ෂික කජු අවශ්‍යතාව වන මෙට්‍රික් ටොන් 25,000න් මෙට්‍රික් ටොන් 18,000ක ප්‍රමාණය සපුරා ගැනීමට මේ වසරේ සමත්වනු ඇති බවත් එය ඉකුත් වසරට සාපේක්ෂව ඉහළ වර්ධනයක් බවත් අනාවරණය විය. එසේම උතුරු සහ නැගෙනහිර පළාත්වල හෙක්ටයාර් 15,000ක කජු වගා කිරීමේ විභවතාවක් පවතින බවද සාකච්ඡාවට ලක් වූ අතර වැවිලි ක්ෂේත්‍රය ශක්තිමත් කිරීමට ආයතන ඒකාබද්ධ කිරීමේ කටයුතුවල ප්‍රගතිය සහ රජයට අයත් වාණිජමය නොවන ආයතන පිළිබඳ අමාත්‍ය මණ්ඩල තීරණය ක්‍රියාත්මක කිරීමට අදාළ ප්‍රගතියද විමසා බලා ඇත.
මේ පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක් - ජූලි 29 සිට බලාත්මක අති විශේෂ ගැසට් පත්‍රයෙන් උපරිම ගාස්තු දැනුම්දෙයි
මේ අතර මීට කලකට පෙර පැවති රජයන් විසින් සමාගම් සඳහා ඉඩම් ලබා දීමේදී අත්සන් තැබූ ගිවිසුම් යාවත්කාලීන කිරීමේ අවශ්‍යතාව සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡාවට ලක් කෙරුණු අතර රජයෙන් ලබා දෙන ඉඩම් සම්බන්ධයෙන් ශක්තිමත් ගිවිසුම් ඇතිකර ගැනීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිවරයා එම කටයුතු සොයා බැලීමට මුදල් අමාත්‍යාංශය මඟින් කමිටුවක් පත් කිරීමටද උපදෙස් දී ඇත.
එසේම ජාතික වැවිලි කළමනාකරණ ආයතනය යටතේ ක්‍රියාත්මක පාඨමාලා විශ්වවිද්‍යාල මඟින් ලබා දීමේ හැකියාව පිළිබඳව අදාළ විශ්වවිද්‍යාල සමඟ සාකච්ඡා කර සොයා බලන ලෙසද ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් දී සිටියා.