අයහපත් කාලගුණයෙන් පවුල් 3,966ක් බලපෑමට
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ අද (27) උදෑසන 10 වන විට පවුල් 3,966කට අයත් පුද්ගලයන් 14,485 දෙනෙකු බලපෑමට ලක්ව ඇති බව කැබිනට් මාධ්ය ප්රකාශක, අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්ය හමුවේදී ආපදා තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් අමාත්යවරයා සඳහන් කළේ, මෙම ආපදා තත්ත්වය හේතුවෙන් එක් මරණයක් සහ පුද්ගලයන් 03 දෙනෙකුගේ තුවාල ලැබීම් වාර්තා වී ඇති බවයි.
එමෙන්ම පූර්ණ නිවාස හානි 02ක් සහ අර්ධ නිවාස හානි 312ක් සිදුව තිබේ.
බෙංගාල බොක්කේ 'ඔර්නබ්' සුළි කුණාටුව 'ඉතා චණ්ඩ' තත්ත්වයට - ඉන්දියාව දෙසට ගමන් කළත් ලංකාවට දැවැන්ත වැසි සහ තද සුළං
රත්නපුර, කොළඹ, මන්නාරම සහ නුවරඑළිය යන දිස්ත්රික්කවල පිහිටි සුබසාධන මධ්යස්ථාන 13ක පවුල් 181කට අයත් පුද්ගලයන් 554 දෙනෙකු මේ වන විට රඳවා ඇති අතර, ඔවුන්ට අවශ්ය සියලු සහන පහසුකම් ලබාදීමට පියවර ගෙන ඇත.
කාලගුණවිද්යා දෙපාර්තමේන්තු වාර්තාවලට අනුව ඔක්තෝබර් 28 වැනිදා පෙරවරු 11.30 වන විට මෙම සුළි කුණාටුව ඉන්දීය ගොඩබිම දෙසට ගමන් කිරීමට නියමිත බව පැවසූ අමාත්යවරයා, ආපදා සහන මෙහෙයුම් සඳහා රත්නපුර, කෑගල්ල, මහනුවර සහ කොළඹ යන දිස්ත්රික්කවල යුද හමුදා, නාවික හමුදා සහ පොලිස් කණ්ඩායම් යොදවා ඇති බව ද වැඩිදුරටත් සඳහන් කළේය.