රතු අනතුරු ඇඟවීම් - මුළු රටටම වලංගු වන පරිදි කාලගුණවිද්යා දෙපාර්තමේන්තුවෙන්
බෙංගාල බොක්ක මුහුදු ප්රදේශය සහ දිවයින වටා ඇති ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්රදේශ සඳහා තද සුළං සහ මුහුද රළු වීම පිළිබඳ රතු අනතුරු ඇඟවීමක් කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. අද (27) රාත්රී 9.00ට නිකුත් කළ මෙම නිවේදනය ඉදිරි පැය 24 සඳහා වලංගු වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
‘ඔර්නබ්’ (Arnab) ලෙස නම් කර ඇති ඉතා ප්රබල සුළි කුණාටුව අද පස්වරු 2.30 වන විට කන්කසන්තුරයට කිලෝමීටර් 800ක් පමණ ඊසාන දෙසින් බෙංගාල බොක්කේ ස්ථානගතව පැවති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මෙම සුළි කුණාටුව හෙට (28) අලුයම 2.00ත් 4.00ත් අතර කාලයේදී ඉන්දියාවේ ආන්ද්ර ප්රදේශ් ප්රදේශයෙන් ගොඩබිමට ඇතුළු වනු ඇතැයි අපේක්ෂා කෙරේ. එහිදී සුළඟේ උපරිම වේගය පැයට කිලෝමීටර් 125ත් 135ත් අතර පැවතිය හැකි අතර, ඇතැම් අවස්ථාවලදී එය පැයට කිලෝමීටර් 150ක් දක්වා ඉහළ යා හැකියි.
අනතුරු ඇඟවීමට ලක්වන මුහුදු ප්රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 80ත් 150ත් අතර දක්වා ඉහළ යා හැකි අතර, ගිගුරුම් සහිත තද වැසි ඇතිවීමේ හැකියාව ද පවතී. එම මුහුදු ප්රදේශවල රළ උස මීටර් 6ත් 9ත් අතර අගයක් දක්වා ඉහළ යා හැකි බැවින් මුහුද ඉතා රළු විය හැකි බවට අනතුරු අඟවා තිබේ.
ඒ අනුව, උතුරු අක්ෂාංශ 10ත් 20ත් අතර සහ නැගෙනහිර දේශාංශ 80ත් 90ත් අතර මුහුදු ප්රදේශවල නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. එම ප්රදේශවල සිටින ධීවර හා නාවික ප්රජාවට ආරක්ෂිත ප්රදේශ වෙත යාත්රා කරන ලෙස ද උපදෙස් ලබාදී තිබේ. එමෙන්ම, ඉදිරි කාලගුණ නිවේදන සහ අනාවැකි පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවන ලෙස ද ධීවර හා නාවික ප්රජාවගෙන් කාලගුළණ විද්යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.