ගෝලයෝ ගුරුවරිය නිරුවත් කරලා...කෘතිම බුද්ධියෙන්...!!!
මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යාංශය මගින් පුළුල් විමර්ශනයක් ආරම්භ කොට තිබේ.
එම විදුහලේ 10 වසරේ ඉගෙනුම ලබන මෙම සිසුන් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ මුහුණ යොදා ගනිමින් එම ඡායාරූප නිර්මාණය කොට ඔවුන් අතර බෙදා ගනිමින් සිටියදී එම ගුරුවරියට සිද්ධිය අනාවරණය වීමෙන් පසු මහනුවර පොලිසියට පැමිණ කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයට සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කොට තිබේ.
එම පැමිණිල්ලට අනුව මහනුවර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් අදාළ පාසලට ගොස් එම සිසුන් භාවිතා කළ බව කියන ලැප්ටොප් පරිගණකයක් ජංගම දුරකථන දෙකක් අත්අඩංගුවට ගෙන විමර්ශන ආරම්භ කොට ඇති බව ඉහළ පොලිස් නිලධාරියෙකු පැවසීය.
මහනුවර කොට්ඨාස භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක ගේ උපදෙස් පරිදි කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි ප්‍රධාන පොලිස් පරීක්ෂක පලීපාන ඇතුළු පොලිස් කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදුකරයි.
