කලාපයේ යුද්ධය අවසන් වුණොත් ශ්‍රී ලංකා කොටස් වෙළෙඳපොළට මොකද වෙන්නේ? - විශේෂඥයෙකුගෙන් ඉඟියක්
බටහිර ආසියානු කලාපයේ පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා කොටස් වෙළෙඳපොළේ සිදුව ඇති පහත වැටීම රටේ සැබෑ ආර්ථික තත්ත්වය හා සසඳන විට අධික ප්‍රතිචාරයක් බව ආසියා ෆ්රන්ටියර් කැපිටල් (Asia Frontier Capital) ආයතනයේ ආයෝජන අරමුදල් කළමනාකරුවෙකු පවසයි.
එම ආයතනයේ AFC Asia Frontier Fund අරමුදලේ කළමනාකරු රුචිර් දේසායි සඳහන් කර ඇත්තේ මෙම වසර තුළ ශ්‍රී ලංකාවේ කොටස්වල වටිනාකම ඇමෙරිකානු ඩොලර් අනුව සියයට 17කින් පමණ පහත වැටී ඇති බවයි.
එම කාලසීමාව තුළ පාකිස්තාන කොටස් වෙළෙඳපොළ පහත වැටී ඇත්තේ සියයට 1ක පමණ ප්‍රමාණයකින් බවද ඔහු පෙන්වා දී තිබේ. ශ්‍රී ලංකා රුපියලේ අගය ද පහත වැටී ඇති නමුත්, රටේ ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගැනීමේදී කොටස් වෙළෙඳපොළේ ප්‍රතිචාරය අධික බව ඔහුගේ අදහස වී තිබේ.
ශ්‍රී ලංකාව මේ වනවිට මුහුණ දී සිටින ප්‍රධාන අභියෝග දේශීය ආර්ථිකයේ ව්‍යුහාත්මක ගැටලු නොව බාහිර හා භූ දේශපාලනික සාධක බවත්, මැදපෙරදිග කලාපයේ උණුසුම් තත්ත්වය සමනය වූ පසු ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය වෙළෙඳපොළවල් යළි වර්ධනීය තත්ත්වයකට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බවත් රුචිර් දේසායි සඳහන් කර ඇත.
බටහිර ආසියානු යුදමය තත්ත්වය ඇති නොවූයේ නම් මෙම වසරේදී ශ්‍රී ලංකා කොටස් වෙළෙඳපොළ සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කිරීමට ඉඩ තිබූ බවද ඔහු පවසා තිබේ.
2022 ආර්ථික අර්බුදයෙන් පසු අඩු උද්ධමනයක් සහ සාපේක්ෂ දේශපාලන ස්ථාවරත්වයක් සමඟ ශ්‍රී ලංකාව යහපත් ආර්ථික ප්‍රකෘතිමත් වීමක් පෙන්නුම් කරමින් සිටි බවද ඔහුගේ අදහසයි.
මේ අතර, CAL Group හි ප්‍රධාන විධායක නිලධාරී කනිෂ්ක මන්නක්කාර පවසන්නේ මෙම වසරේ මුල් කාලයේදී ශ්‍රී ලංකා ආර්ථිකය සහ වෙළෙඳපොළ යහපත් වර්ධන වේගයක් පෙන්නුම් කළ නමුත් මැදපෙරදිග කලාපයේ උණුසුම් තත්ත්වය හේතුවෙන් එම තත්ත්වයට බලපෑම් එල්ල වූ බවයි.
මේ වනවිට කොටස් වෙළෙඳපොළේ වටිනාකම් චක්‍රීය අවම මට්ටම්වලට ආසන්න වී ඇති බවත්, ස්ථාවර ආදායම් ආයෝජන ක්ෂේත්රයේ පවා ඉහළ පොලී අනුපාත හේතුවෙන් ආයෝජකයන්ට අඩු මිල ගණන් යටතේ ආයෝජන සඳහා ප්‍රවේශ වීමේ අවස්ථා නිර්මාණය වී ඇති බවත් ඔහු පෙන්වා දී තිබේ.
ශ්‍රී ලංකාවේ කොටස් සහ ස්ථාවර ආදායම් ආයෝජන යන ක්ෂේත්‍ර දෙකෙහිම මේ වනවිට ආකර්ෂණීය ආයෝජන අවස්ථා පවතින බවද කනිෂ්ක මන්නක්කාර සඳහන් කර ඇත.
කෙසේ වෙතත්, අද ආකර්ෂණීය ලෙස පෙනෙන ආයෝජන අවස්ථාවල තත්ත්වය ඉදිරි මාස හයකදී වෙනස් විය හැකි බවත්, එය ආර්ථිකය පවතින චක්‍රීය අවධිය මත තීරණය වන බවත් ඔහු වැඩිදුරටත් පවසා තිබේ.
රුචිර් දේසායි පෙන්වා දෙන්නේ ඉදිරියේදී ශ්‍රී ලංකා වෙළෙඳපොළේ ගමන්මඟ තීරණය කරන ප්‍රධාන සාධකය තවදුරටත් ගෝලීය භූ දේශපාලනික තත්ත්වය බවයි.