සම්පූර් - කප්පල්තුරෙයි විදුලි ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය
ශ්‍රී ලංකාවේ විදුලි සම්ප්‍රේෂණ පද්ධතියේ යටිතල පහසුකම් තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කිරීමට නියමිත 'සම්පූර් – කප්පල්තුරෙයි සම්ප්‍රේෂණ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතියේ' කොන්ත්‍රාත්තුව ප්රදානය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව, අදාළ කොන්ත්‍රාත්තුව සයිලෙක්ස් ඉංජිනේරු (පුද්ගලික) සමාගම (Ceylex Engineering (Pvt) Ltd) සහ ෂින්නෙන්ග් ඉලෙක්ට්‍රික් පවර් කන්ස්ට්‍රක්ෂන් සමාගම (Xingneng Electric Power Construction Co. Ltd) එක්ව පිහිටුවා ඇති හවුල් ව්‍යාපාරය වෙත ප්රදානය කිරීමට නියමිතය.
බදු රහිතව මෙම කොන්ත්‍රාත්තුවේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 4.15ක්, යුරෝ මිලියන 0.78ක් සහ ශ්‍රී ලංකා රුපියල් මිලියන 1,096.08ක් ලෙස සඳහන් වේ.
ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ (AIIB) මූල්‍ය ආධාර යටතේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතියට සම්පූර් 220(132)/33 kV නව විදුලි උපපොළක් ඉදිකිරීම සහ කප්පල්තුරෙයි 220(132)/33 kV විදුලි උපපොළ පුළුල් කිරීම ඇතුළත් වේ.
මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම තුළින් මෙරට විදුලි සම්ප්‍රේෂණ ජාලයේ ධාරිතාව සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමටත්, ජාතික විදුලි පද්ධතියේ ස්ථාවරත්වය ශක්තිමත් කිරීමටත් අපේක්ෂා කෙරේ.
මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ මූලික අනුමැතිය 2025 දෙසැම්බර් 15 වැනිදා ලබාගෙන තිබේ. ඉන් අනතුරුව, ව්‍යාපෘතිය සඳහා සුදුසු කොන්ත්‍රාත්කරුවෙකු තෝරා ගැනීමට ජාත්‍යන්තර තරඟකාරී ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ ලංසු කැඳවා ඇති අතර, ඒ සඳහා ලංසු හයක් ඉදිරිපත් වී තිබිණි.
එම ලංසු ඇගයීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය මත, අවම මිල ඉදිරිපත් කරමින් අවශ්‍ය සියලුම තාක්ෂණික හා අනෙකුත් කොන්දේසි සපුරාලූ ලංසුකරු වෙත කොන්ත්‍රාත්තුව පිරිනැමීමට තීරණය කර ඇත.
ඒ අනුව, බලශක්ති අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද අදාළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.