මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් - නාරාහේන්පිටින් එක්දින සේවාවලට එන්න කලින් මේ දේ අනිවාර්යයි
මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ (DMT) නාරාහේන්පිට ප්රධාන කාර්යාලයෙන් සේවාවන් ලබාගන්නා ජනතාව වෙනුවෙන් නව ක්රමවේදයක් ඊයේ (02) සිට ක්රියාත්මක කර තිබේ.
ඒ අනුව, දෙපාර්තමේන්තුව මගින් සපයනු ලබන සියලුම එක්දින සේවාවන් ලබාගැනීම සඳහා පූර්ව වේලාවක් වෙන්කර ගැනීම අනිවාර්ය කර ඇති බව එම දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. සේවාලාභීන්ට ක්රමවේද දෙකක් ඔස්සේ තම වේලාව වෙන්කර ගැනීමේ පහසුකම සලසා ඇත.
1. දුරකථන මාර්ගයෙන් තම ප්රදේශයට අදාළ දුරකථන කලාප අංකය ඉදිරියට යොදා 117 116 යන දුරකථන අංකය ඇමතීමෙන් වේලාවක් වෙන්කර ගත හැකිය. උදාහරණයක් ලෙස කොළඹ ප්රදේශයේ සේවාලාභීන්ට 011 2 117 116 යන අංකය ඇමතීමෙන් වේලාව වෙන්කරවා ගත හැකිය.
2. මාර්ගගත ක්රමයෙන් (Online) දෙපාර්තමේන්තුවේ නිල වේලාවන් වෙන්කර ගැනීමේ වෙබ් අඩවිය වන https://dmtappointments.dmt.gov.lk වෙත පිවිසීමෙන් ද අදාළ වේලාව වෙන්කර ගත හැකිය. වාහන අලුතින් ලියාපදිංචි කිරීම, වාහන අයිතිය පැවරීම, රියදුරු බලපත්ර නිකුත් කිරීම සහ තාක්ෂණික ගැටලු නිරාකරණය ඇතුළු සියලුම එක්දින සේවාවන් ලබාගැනීම සඳහා මෙම ක්රමවේදය අනුගමනය කළ යුතුය.
එබැවින් අදාළ සේවාවන් ලබාගැනීමට නාරාහේන්පිට ප්රධාන කාර්යාලය වෙත පැමිණීමට පෙර අනිවාර්යයෙන්ම පූර්ව වේලාවක් වෙන්කර ගන්නා ලෙස මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව සේවාලාභීන්ගෙන් ඉල්ලා සිටී.