ඉතිහාසය පුරා රුධිරයෙන් තෙත්වුණු දඩබිම - ඔබ මේ කරුණු දැන සිටියා ද?

By Sewvandhi Aug 30, 2021 09:08 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ඇෆ්ගනිස්තානය අතීතයේ සිටම විදෙස් ආක්‍රමණිකයින්ගේ ග්‍රහණයට හසුවූ භූමියකි. එසේම කිහිපවරක් විදෙස් හමුදා එම භූමිය තුළ දී දරුණු පරාජයන්ට මුහුණ දුන්හ. යුරෝපය සහ ආසියාව වෙන්කෙරෙන "ගේට්ටුව" ලෙස සමහරු ඇෆ්ගනිස්තානය හඳුන්වති. ක්‍රිස්තු පූර්ව 500දී බැබිලෝනියාවේ පළමු ඩේරියස් විසින් එම භූමිය යටත් කරගත්තේය.

එසේම රණකාමී ඇලෙක්සැන්ඩර් විසින් ක්‍රි පූ 329 දී එම භූමිය තම ග්‍රහණයට යටත් කරගත් බව ඉතිහාසයේ සඳහන් වෙයි. 11 වැනි ශත වර්ෂයේ ශූරකම් පෑ ඇෆ්ගනිස්තානයෙන් බිහිවූ සාර්ථක රණකාමියෙක් ලෙස සැලකෙන මහමුද් හි ගස්නි, ඉන්දියාවේ සිට ඉරානය දක්වා රාජධානියක් බිහිකළේය.

13 වැනි ශතවර්ෂයේදී එම භූමියේ බලය ප්‍රකට රණකාමියෙක් වන ජෙන්ගිස් ඛාන් ලබාගත්තේය. නමුත් 1700 වර්ෂය පමණ තෙක් එම රාජ්‍ය එක රටක් ලෙස එක්සේසත් කිරීමට කිසිවෙක් අපොහොසත් වූ බව සඳහන් වෙයි. නමුත් විශේෂයෙන්ම අරාබි ජාතිකයින්ගේ ආක්‍රමණ හේතුවෙන් 1870 වනවිට එහි ජීවත්වූ බහුතරයක් ඉස්ලාම් ආගම ඇදහීමට පෙළඹී සිටි බව ඉතිහාසයේ සඳහන් වන කරුණකි.

19 ශතවර්ෂයේදී ඇෆ්ගන්වරුන් සහ බ්‍රිතාන්‍ය හමුදා අතර කිහිපවරක් යුද ගැටුම් ඇතිවිය. ඒ, 1838-1842, 1878-1880 වසරවලය. ඊට ප්‍රධාන හේතුවක් වූයේ රුසියාවෙන් තම ඉන්දීය රාජධානියට සිදුවන බලපෑම මැඩලීම සඳහා බ්‍රිතාන්‍ය පාලකයින් විසින් ඇෆ්ගනිස්තානය යටත් කර ගැනීමට දැරූ ප්‍රයත්නයයි.

1921

නැවතත් 1919-21 කාලයේදී ඇෆ්ගන්වරු සහ බ්‍රිතාන්‍ය හමුදා අතර ගැටුම් ඇතිවිණි. ඒ වනවිට පළමු ලෝක යුද්ධය හේතුවෙන් බැටකා සිටි බ්‍රිතාන්‍ය හමුදා පරාජය කිරීමට ඇෆ්ගන්වරු සමත්වූහ. ඒ සමගම ඇෆ්ගනිස්තානය ස්වාධීන රජයක් ලෙස ස්ථාපනය කෙරිණි. ඒ වනවිට ලොව අනෙක් රටවල් හා සංසන්දනය කිරීමේදී ඉතා පසුපසින් සිටි එම රට තුළ සමාජ ආර්ථික පෙරළියක් කිරීමට අමීර් අමනුල්ලා ඛාන් නම් පාලකයා පියවර ගත්තේය.

1926

අමනුල්ලා විසින් ඇෆ්ගනිස්තානය රාජාණ්ඩුවක් ලෙස 1926දී නම් කළේය. ඔහු තමා රජු ලෙස නම්කර ගැනීමද විශේෂ කරුණකි. රට තුළ පැහැදිලි වෙනසක් ඇතිකිරීමට ප්‍රයත්නයක් දැරූ ඔහු නවීකරණය සඳහා සැලසුම් කිහිපයක් හඳුන්වා දුන්නේය. එසේම රටේ පාලනයට මැදිහත් වෙමින් සිටි ජාතික කවුන්සිලයේ බලය අඩුකිරීමට ද ඔහු උත්සාහ දැරීය. නමුත් ඒ සඳහා ඔහුට එරෙහිව දැඩි විරෝධයක් මතුවිණි. අමනුල්ලාගේ ප්‍රතිපත්තිවලට එරෙහිව විවිධ කණ්ඩායම් 1928දී සහ 1929දී සන්නද්ධ අරගල දියත් කළහ. රජකම අත්හැර දැමූ අමනුල්ලා ඉන් පසුව රටෙන් පළාගියේය.

1933

ෂහීර් ඛාන් එරට රජ විය. රට එක්සත් කිරීමට සමත්වූ ඔහු වසර 40ක් පමණ ඇෆ්ගනිස්තානය පාලනය කළේය.1934 අමෙරිකාව, ඇෆ්ගනිස්තානය පිළිගත්තේය.

1947

බ්‍රිතාන්‍ය ඉන්දියාවෙන් ඉවත් විණි. ඉන්දියාවේ හින්දු ආගම ප්‍රමුඛ රාජ්‍යයක් ඇතිවූ අතර පාකිස්තානය ඉස්ලාම් ආගමට ප්‍රමුඛත්වය දෙන රටක් ලෙස නිදහස ලැබීය. පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය අසල්වාසීන් ය. නමුත් දෙරට අතර ඇත්තේ දුෂ්කර දීර්ඝ පාලනය කිරීමට අපහසු දේශසීමාවකි. මත්ද්‍රව්‍ය, අවිආයුධ මෙන්ම මිනිස් ජාවාරමද ඒ හරහා නොපිරිහෙළා සිදුවෙයි. 1953 එවකට ඇෆ්ගනිස්තානය පාලනය කළ රජුගේ ඥාති සොහොයුරා ජෙනරාල් ඩාවුඩ් ඛාන් නම් විය. ඔහු සෝවියට් දේශය සමග දැඩි මිත්‍රත්වයක් තිබූ අයෙකි. ඔහු

1953

දී එරට අගමැතිවරයා බවට පත්විය. අනතුරුව තම රටේ ආර්ථික, සමාජීය සහ යුද ක්ෂේත්‍ර ශක්තිමත් කිරීමට ඔහු සෝවියට් සහාය පැතීය. එසේම එරට කාන්තාවන්ට සමාජය තුළ පිළිගැනීමක් ඇතිකිරීමට ඔහු පැහැදිළි ලෙස කැපවිණි.

1956

සෝවියට් අගමැති නිකිට කෘශෝෆ් ඇෆ්ගනිස්තානයට උදව්කිරීමට එකඟ විය. අනතුරුව එම රටවල් දෙක තව තවත් මිතුරු වූ බව සඳහන් වෙයි.

1957

ජෙනරාල් ඩාවුඩ් ඛාන් ගේ සමාජ ප්‍රතිසංස්කරණ ප්‍රතිපත්ති යටතේ කාන්තාවන්ට විශ්වවිද්‍යාලයට යෑමට සහ රැකියා කිරීමට වරම් ලැබුණි.

1965

ඉතා රහසිගතව ඇෆ්ගන් කොමියුනිස්ට් පක්ෂය ස්ථාපනය කෙරිණි. එහි මූලික නායකයින් වූයේ බබ්රක් කර්මාල් සහ නූර් මොහම්මඩ් ටරාකි නම් දෙදෙනා ය.

1973

හමුදා කුමන්ත්‍රණයකින් ජෙනරාල් ඩාවුඩ් ඛාන් විසින් එවකට රජු වශයෙන් කටයුතු කළ මොහමඩ් ෂහීර් ෂා ව බලයෙන් පහ කළේය. ඒ සමගම ඇෆ්ගනිස්තාන මහජන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය බලයට පැමිණියේය. රාජාණ්ඩුව විසිරුවා හැරීමට කටයුතු කළ ජෙනරාල් ඛාන්, ජනාධිපති ලෙස තමාම පත්වුණි. අනතුරුව ඇෆ්ගනිස්තාන ජනරජය බිහි කළේය. සෝවියට් දේශය ඔවුන්ගේ හොඳම මිතුරා වූයේය.

ඉතිහාසය පුරා රුධිරයෙන් තෙත්වුණු දඩබිම - ඔබ මේ කරුණු දැන සිටියා ද? | About Afghanistan Wore And Political Situation

1975-1977

ජනාධිපති ඛාන් නව ව්‍යවස්ථාවක් යෝජනා කළේය. ඒ වනවිට කොමියුනිස්ට් රාජ්‍යයක් වූ ඇෆ්ගනිස්තාන සමාජය තවදුරටත් ප්‍රතිසංස්කරණය කිරීමට ඔහු යෝජනා කළ අතර කාන්තාවන්ට තවදුරටත් අයිතීන් ලබාදීමට හේ උත්සුක විය. නමුත් ඔහු සිය විරුද්ධවාදීන්ව දැඩි ලෙස මර්ධනය කළේය. රජය තුළ සිටි තමාට සහාය නොදෙන්නන්ව නෙරපා දැමීමටද ඔහු කටයුතු කළේය.

1978

කොමියුනිස්ට් කුමන්ත්‍රණයකින් ජනාධිපති ඛාන් ඝාතනය විය. ඇෆ්ගන් කොමියුනිස්ට් පක්ෂයේ ආරම්භක සාමාජිකයෙක් වූ නූර් මොහම්මඩ් ටරාකි ජනාධිපතිවරයා ලෙස පත්විණි. බබ්රක් කර්මාල් නියෝජ්‍ය අගමැති ලෙස නම් කෙරිණි. ඔවුන් පැවසුවේ සෝවියට් මැදිහත්වීම්වලින් තම රට නිදහස් විය යුතු බවය. ඒ අනුව, ඉස්ලාම් ප්‍රතිපත්ති, ඇෆ්ගන් ජාතිකත්වය සහ සමාජ ආර්ථික යුක්ති ප්‍රකාරව රට මෙහෙයවන බව ඔවුන් පැවසුවේය. ටරාකි, සෝවියට් දේශය සමග එකඟත්වයකට ද අත්සන් තැබීය. නමුත් කොමියුනිස්ට් පක්ෂ ප්‍රබලයින් වූ ජනාධිපති ටරාකි සහ හෆිසුල්ලා අමින් අතර මත ගැටුම් විටින් විට ඇතිවිය. ඒ අතරම, හිටපු ජනාධිපතිවරයා විසින් හඳුන්වා දී තිබු සමාජ වෙනස්කම්වලට එරෙහිව ඈත පළාත්වල ඉස්ලාම් සහ අනෙකුත් ජන කොටස්වල නායකයින් සන්නද්ධ අරගලයක් අරඹමින් තිබුණි. 1978 ජූනි මාසයේදී සෝවියට් සහාය ලබමින් සිටි රජයට එරෙහිව මුජහිඩීන් නමින් ගරිල්ලා ව්‍යාපාරය ආරම්භ විය.

1979

අමෙරිකානු තානාපති ඇඩොල්ෆ් ඩබ්ස් ඝාතනය වෙයි. ඔහුව සන්නද්ධ පිරිසක් විසින් පැහැරගෙන ගොස් තිබූ අතර ඔහුව බේරාගැනීමට ගත් උත්සාහයේදී ඔහුව පැහැරගත් පිරිස ඩබ්ස් ව ඝාතනය කර තිබුණි. ඒ සමගම ඇෆ්ගනිස්තානයට ආධාරදීම අමෙරිකාව නවතා දැමීය. ජනාධිපති ටරාකි සහ නියෝජ්‍ය අගමැති අමීන් අතර බලඅරගලය උත්සන්න විය. අමීන්ගේ ආධාරකරුවන් සමග ඇතිවූ ගැටුමකින් ජනාධිපති ටරාකි සැප්තැම්බර් 14 වනදා ඝාතනය විය. 1979 දෙසැම්බර් 24 වනදා ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කිරීමට සෝවියට් හමුදා පියවර ගත්තේය. ඒ, එවකට දුර්වල වෙමින් පැවති කොමියුනිස්ට් පාලනය බේරා ගැනීමේ අරමුණිනි. දෙසැම්බර් 27 වනදා වනවිට අමීන් සහ ඔහුගේ ආධාරකරුවන් වැඩි දෙනෙක්ව ඝාතනය කර තිබුණි. බබ්රක් කර්මාල් අගමැති ලෙස පත්වුණි. නමුත් ඔහුට සහ සෝවියට් හමුදාවට එරෙහිව ජනතාව විරෝධතා දැක්වූහ. එය ක්‍රමක්‍රමයෙන් උත්සන්න විය.

1980

ඒ වනවිට, මුජහිඩීන් සටන් කණ්ඩායම් එක්සත්වී සෝවියට් හමුදා සහ ඔවුන්ගේ සහාය ලැබූ ඇෆ්ගන් හමුදාවට එරෙහිව ප්‍රහාර එල්ල කිරීම අරඹා තිබුණි. ඉන් සමහර කණ්ඩායම්වලට අමෙරිකානු සහාය ද ලැබී තිබුණු බව පැවසේ.

1982

රට තුළ පැවති යුද පරිසරය හේතුවෙන් ඇෆ්ගන් ජනතවගෙන් මිලියන 2.8ක් පාකිස්තානයටත් තවත් මිලියන් 1.5ක් ඉරානයටත් පැනගොස් තිබුණි. ඒ වනවිට ගරිල්ලා කණ්ඩායම් රටේ ග්‍රාමීය ප්‍රදේශවල බලය අල්ලාගෙන සිටි අතර සෝවියට් හමුදා නාගරික ප්‍රදේශවල බලය රඳවාගෙන සිටියහ.

1984

අල්කයිඩා සංවිධානයේ නායකයා ලෙස කටයුතු කළ ඔසාමා බින් ලාඩන් ඇෆ්ගනිස්තානයට පැමිණි බවට ලේඛනවල සටහන්ව ඇත්තේ මෙම වසරේදීය. ගරිල්ලා කණ්ඩායම්වලට ඔහු සහාය දී තිබේ. ඇෆ්ගනිස්තානයේ සිදුවන මානුෂික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් ගැන පරීක්ෂණ පවත්වන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පැවසීය.

1986

සෝවියට් හමුදාවට එරෙහිව තම පළමු සටන ජයගත් බව මුජහිදීන් කණ්ඩායම් නිවේදනය කළහ. අනතුරුව ඔවුන් අමෙරිකාව ද තමන්ට ගැටලුවක් බව පැවසීය. ඉස්ලාම් මූලික රාජ්‍යක් බිහිකිරීමට සුපිරි බලවතෙක් වන අමෙරිකාව ඔවුන්ට තර්ජනයක් බව ඔවුන්ගේ අදහස් විය.

1989

ජිනීවා හීදී අමෙරිකාව, පාකිස්තානය, ඇෆ්ගනිස්තානය සහ සෝවියට් බලධාරීන් සාම ගිවිසුමක් අත්සන් කළේ ඇෆ්ගන් නිදහස තහවුරු කරන බවත් සොවියට් භටයින් 100,000ක් ඉවත්කර ගැනීමටත් එකඟ වෙමිනි. නමුත් එවකට බලයේ සිටි ආචාර්ය මොහම්මඩ් නජිබුල්ලාගේ රජයට එරෙහිව මුජහිදීන් කණ්ඩායම් ප්‍රහාර එල්ල කළහ. ඔවුන් පැවසුවේ එම රජය සෝවියට් රූකඩයක් බවය. ඒ වනවිට ගරිල්ලා නායකයෙක් වන සිභාටුල්ලා මොජාඩිදී නම් තැනැත්තා ඇෆ්ගන් පිටස්තර රජයේ නායකයා ලෙස කටයුතු කළේය.

ඉතිහාසය පුරා රුධිරයෙන් තෙත්වුණු දඩබිම - ඔබ මේ කරුණු දැන සිටියා ද? | About Afghanistan Wore And Political Situation

1992

මුජහිදීන් සහ අනෙකුත් සටන්කාමී කණ්ඩායම් සහ ඔවුන්ට හිතවාදී වූ රජයේ හමුදා පිරිස් අගනගරය වූ කාබුල් නුවර ආක්‍රමණය කළහ. ඊට නායකත්වය දුන්නේ අහමඩ් ෂා මසූඩ් නම් ගරිල්ලා නායකයා ය. ආචාර්ය මොහම්මඩ් නජිබුල්ලා බලයෙන් පහකර මහාචාර්ය බුර්හානුදීන් රබ්බානි ඉස්ලාමික රාජ්‍යයේ ජනාධිපතිවරයා ලෙස පත්කළේය. නමුත් ඒ වනවිට ගරිල්ලා කණ්ඩායම අතරද මතගැටුම් ඇතිවෙමින් පැවති බව සඳහන් වෙයි.

1995

ඉස්ලාමීය සන්නද්ධ කණ්ඩායමක් වූ තලෙබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ බලයට පැමිණෙයි. ඔවුන් සාමය ඇතිකරන බවට පොරොන්දු විය. ඒ වනවිට දැඩි නියඟයෙන් සහ නිමක් නැති ලේ වැගිරීම්වලින් හෙම්බත් වී සිටි සාමාන්‍ය ජනතාව තලෙබාන් සංවිධානයට එකඟත්වය පළ කළහ. ඔපියම් වෙළෙඳාම ඔවුන් තහනම් කළේය. රට තුළ උත්සන්න වෙමින් පැවති අපරාධ මැඩපැවැත්වීමට කටයුතු කළ අතර කාන්තාවන් එතෙක් භුක්තිවිඳිමින් සිටි අයිතීන් සීමා කිරීමටද තලෙබාන් සංවිධානය කටයුතු කළේය. ප්‍රසිද්ධියේ මරණීය දණ්ඩණය ලබාදීම සහ විවිධ වැරදි සඳහා අතපය කපා දැමීමද සිදුකළේය. අමෙරිකාව තලෙබාන් පාලනය පිළිගැනීම ප්‍රතික්ෂේප කළේය.

1998

මෙම වසරේදී අප්‍රිකානු රටවල පිහිටි තානාපති කාර්යාල දෙකකට අල්කයිඩා සටන්කාමීන් විසින් බෝම්බ ප්‍රහාර එල්ල කළේය. ඉන් අමෙරිකානුවන් විශාල පිරිසකට ජීවිත අහිමිවිය. ඊට ප්‍රතිචාර ලෙස ඇෆ්ගනිස්තානයේ පිහිටා ඇති බින් ලාඩන් ගේ පුහුණු කඳවුරුවලට මිසයිල ප්‍රහාර එල්ල කිරීමට අමෙරිකානු ජනාධිපති බිල් ක්ලින්ටන් නියෝග කළේය. නමුත් ඉන් ත්‍රස්ත නායකයින්ට හානියක් සිදු නොවුණු බව පැවසිනි.

2000

මේ වනවිට ඔසාමා බින් ලාඩන් අමෙරිකාවේ ප්‍රධානතම සතුරෙක් ලෙස සැලකුණි. අමෙරිකාව පැවසුවේ තම තානාපති කාර්යාලවලට පහරදීම සම්බන්ධයෙන් ඔසාමා ව නීතියේ ඉදිරියට ගෙනයෑමට ඔහුව තම රටට පිවුවහල් කරන ලෙසය. නමුත් තලෙබාන් සංවිධානය එය ප්‍රතික්ෂේප කළේය. ඊට උරණ වූ අමෙරිකාව එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා ඇෆ්ගනිස්තානයට එරෙහිව විවිධ ආර්ථික සම්බාධක පැනවිය.

2001

මාර්තු මාසයේදී ජාත්‍යන්තර ඉල්ලීම් ද නොතකා බාමියන් බුදු පිළිම විනාශ කිරීමට තලෙබාන් පාලකයින් කටයුතු කළේය. සැප්තැම්බර් 4 වනදා විදේශිකයින් 8 දෙනෙක් අත්අඩංගුවට ගත් තලෙබාන්වරු එම පිරිස ඇෆ්ගනිස්තානය තුළ ක්‍රිස්තියානි අගම පැතිරවීමට උත්සාහ කළ බවට චෝදනා කළේය. ඔවුන් ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානවල සේවකයින් විය. නමුත් පසුව ඔවුන්ව නිදහස් කෙරිණි. තලෙබාන් පාලනයට එරෙහිව සටන්වැදි උතුරු සන්ධානයේ නායකයා ලෙස කටයුතු කළ මසූඩ් ව ඝාතනය විය. ඒ සැප්තැම්බර් 9 වනදා ය.

සැප්තැම්බර් 11 වනදා ලෝක ඉතිහාසයේ සුවිශේෂ දිනයකි. වාණිජ ගුවන් යානා 4ක් පැහැරගත් පිරිසක් නිව්යෝර්ක් ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට යානා දෙකක් ද, පෙන්ටගනය ට එක යානාවක් ද හැප්පීමට කටයුතු කළේය. සිව්වැනි ගුවන් යානය පෙනිසිල්වේනියාවේ ප්‍රදේශයක් වෙත කඩා වැටුණි. මෙම ප්‍රහාර හේතුවෙන් 3,000කට අධික පිරිසක් මියගිය බව වාර්තා විය.

මෙම ප්‍රහාරයේ මහ මොළකරු ඔසාමා බින් ලාඩන් බවට අමෙරිකාව චෝදනා කළේය. ඔහු ඇෆ්ගනිස්තානයේ සැඟවී ඇති බවටත් ඉන් කියැවිණි. ඔහුව භාරදෙන ලෙස පැවසුවද ඊට තලෙබාන් සංවිධානය එකඟ නොවීම හේතුවෙන් අමෙරිකානු සහ බ්‍රිතාන්‍ය හමුදා ඇෆ්ගනිස්තානයේ තලෙබාන් මර්මස්ථාන වෙත සහ අල්කයිඩා කඳවුරු වෙත ප්‍රහාර එල්ලකිරීම ඇරඹිය. තලෙබාන් සංවිධානය ඊට ප්‍රතිචාර දක්වමින් පැවසුවේ ඔවුන් සටනට සූදානම් බවය.

නොවැම්බර් 13 වනදා තලෙබාන් හමුදා පරාජය කරමින් කාබුල් නගරයට පිවිසීමට උතුරු සන්ධානයේ සටන්කාමීන්ට හැකියාව ලැබුණි. අනතුරුව තලෙබාන් සාමාජිකන් කන්දහාර් ප්‍රදේශයට පළාගොස් තිබුණි. දෙසැම්බර් 7 වනදා තලෙබාන් සටන්කරුවන් ඔවුන්ගේ අවසන් බලකොටුව වූ කන්දහාර් ප්‍රදේශය අත්හැර පළාගියේය.

දින දෙකකට පසුව ෂාබුල් පළාත ද තම ග්‍රහණයට ගැනීමට තලෙබාන් විරෝධී කණ්ඩායම් සමත්විය. ඒ සමගම පාකිස්තානයේ සිට ක්‍රියාත්මක වූ එරට මාධ්‍ය සඳහන් කළේ "ඇෆ්ගනිස්තානයේ තලෙබාන් පාලනය නිමා වූ බවය". දෙසැම්බර් 22 වනදා, පෂ්තුන් ජන කොටසට අයත් හමීඩ් කර්සායි, ඇෆ්ගනිස්තාන අන්තර්වාර රජයේ නායකයා ලෙස දිවුරුම් දුන්නේය. වසර ගණනාවක් පාකිස්තානයේ ජීවත්වූ කර්සායි ඇෆ්ගනිස්තානයට පැමිණ අන්තර්වාර රජයේ නායකත්වය ලබාගත්තේය. ඔහුට අමෙරිකානු සහාය ලැබුණි.

2002

ලෝයා ජර්ගා නමින් හැඳින්වෙන පාලක කවුන්සිලය විසින් හමීඩ් කර්සායි අන්තර්වාර නායකයා ලෙස පිළිගත්තේය. එම රජය ට 2004 දක්වා පාලන බලය හිමිවිය. එම වසරේ දී මැතිවරණය පැවැත්වීමට එකඟතාව ඇතිවිණි. 2003 නමුත් එරට ගැටුම් අඩුවූයේ නැත. එබැවින්

2003

අගෝස්තු මාසයේදී කාබුල් නගරයේ ආරක්ෂාව නේටෝ හමුදා බලඇණි විසින් භාරගත්තේය. යුරෝපයෙන් බාහිරව එම සංවිධානය එවැනි වගකීමක් ගත් පළමු අවස්ථාව එය විය.

2004

ජනවාරි මාසයේදී ලෝයා ජර්ගා පාලක කවුන්සිලය විසින් නව ව්‍යවස්ථාවක් සඳහා අනුමැතිය ලැබුණි. එය සම්පාදනය සඳහා ඇෆ්ගන්වරු 500,000කගේ පමණ අදහස් ලබාගෙන තිබුණි. එමගින් ජනාධිපති තනතුරක් සහ නියෝජ්‍ය ජනාධිපතිවරු දෙදෙනෙක් සඳහා තනතුරු ස්ථාපනය කර තිබූ අතර අගමැති ධූරය ඉවත්කර තිබුණි. පැෂ්ටෝ සහ දාරි එරට රාජ්‍ය භාෂා ලෙස පිළිගැණුනි. එසේම කාන්තාවන්ට සම අවස්ථාව හිමිවියයුතු බව නව ව්‍යවස්ථාවේ දැක්වුණි. ඔක්තෝබර් මස පැවති ජනාධිපතිවරණයෙන් 55%ක ප්‍රතිශතයක් ලබාගනිමින් කර්සායි ජනපති ලෙස පත්විය. ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 18 දෙනෙක් ඉදිරිපත්වී තිබුණි.

2005

වසර 30කට අනතුරුව පළමුවරට පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වුණේ මෙම වසරේදීය. එය ඉතා සාමකාමී විය. පාර්ලිමේන්තුව දෙසැම්බර් මාසයේදී රැස්විණි.

2006

රටේ විවිධ ස්ථානවල තලෙබාන්, අල්කයිඩා සහ ඇෆ්ගන් රජයේ හමුදා අතර ගැටුම් නොනවත්වා ඇතිවුණි. ඒ අතරම නේටෝ හමුදා සිය සාම සාධක කටයුතු ඇෆ්ගනිස්තානයේ දකුණු කලාපය සඳහා ව්‍යාප්ත කළේය. ජාත්‍යන්තර හමුදා ඇෆ්ගනිස්තානයේ ආරක්ෂාව ස්ථාපිත කරමින් සිටින විට ඔවුන්ට එරෙහිව ප්‍රබල මරාගෙන මැරෙන ප්‍රහාර මාලාවක් එල්ලකිරීමට තලෙබාන් සටන්කරුවෝ ක්‍රියා කළහ.

2007

තලෙබාන් හමුදා කණ්ඩායම්වලට නායකත්වය දුන් මුල්ලා දාඩුල්ලා අමෙරිකානු ප්‍රමුඛ හමුදා දක්ෂිණ ඇෆ්ගනිස්තානයේ දී එල්ලකළ ප්‍රහාරයකින් මියගිය බව වාර්තා විය.

2008

ඇෆ්ගනිස්තානයට ආධාරදීම සඳහා ප්‍රංශයේ පැරිස් නගරයේදී සමුළුවක් පැවැත්වුණි. එහිදී එරට සංවර්ධනය සඳහා ඩොලර් බිලියන 15ක් ජාත්‍යන්තර පරිත්‍යාගශීලීන් පොරොන්දු විය. ජනාධිපති හමීඩ් කර්සායි පැවසුවේ රජය තුළ දූෂණය වැළැක්වීමට පියවර ගන්නා බවය.

2009

අමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමා, ඇෆ්ගනිස්තානයේ සහ පාකිස්තානයේ විශේෂ නියෝජිතයා ලෙස රිචර්ඩ් හොල්බ්රූක් පත්කළේය. ඇෆ්ගනිස්තානයට යවා සිටි 17,000ක භට පිරිසට අමතරව හමුදා සහ සිවිල් පුහුණුකරුවන් ඇෆ්ගනිස්තානයට යැවීමට ඔබාමා කටයුතු කළේය. එසේම පාකිස්තානයට ද අවශ්‍ය හමුදාමය සහාය ලබාදීමට ඔහු කටයුතු කළේය.

2011

මැයි 02 වනදා පාකිස්තානයේ ඇබෝට්ටාබාද් හි ජනාකීර්ණ නොවන ප්‍රදේශයක සැඟවී ජීවත්වෙමින් සිටි අල්කයිඩා නායක ඔසාමා බින් ලාඩන් අමෙරිකානු හමුදා ප්‍රහාරයකින් මියගියේය. ඒ හේතුවෙන් පාකිස්තාන බලධාරීන් සහ අමෙරිකානු බලධාරීන් අතර මතගැටුම් ඇතිවිණි. ඒ අතරම නේටෝ සහ අමෙරිකානු හමුදා ප්‍රහාර හේතුවෙන් සාමාන්‍ය වැසියන් මියයෑම ගැන ඇෆ්ගන් ජනාධිපතිවරයා අමෙරිකාවට සිය විරෝධය එල්ල කිරීමටද කටයුතු කළේය.

2016

වනවිට ඇෆ්ගනිස්තානයේ රඳවා සිටින අමෙරිකානු හමුදා භට පිරිස් සැලකියයුතු ප්‍රමාණයකින් අඩුකරන බව ජනාධිපති ඔබාමා පැවසීය. ඇෆ්ගනිස්තානයේ ජනාධිපති ලෙස අෆ්රොෆ් ඝානි සැප්තැම්බර් මාසයේදී පත්විය. ඔහුගේ ප්‍රධානතම ප්‍රතිවාදියා වූයේ එරට පිළිගත් පුද්ගලයෙක් වූ අබ්දුල්ලා අබ්දුල්ලා ය. දෙසැම්බර් මාසයේදී නේටෝ හමුදා ඇෆ්ගන් හමුදාමය කටයුතු නිමා කළහ. නමුත් අමෙරිකානු හමුදාවේ සහ නේටෝ තෝරාගත් හමුදා කණ්ඩායම් ඇෆ්ගන් හමුදාවට අවශ්‍ය පුහුණුව සහ උපදෙස්දීමට එරට රඳවා තැබිණි.

2015

ඇෆ්ගනිස්තානයේ රඳවා ඇති අමෙරිකානු හමුදා ඉවත්කර ගැනීමට තිබූ සැලැස්ම අත්හැර දැමීමට ජනාධිපති ඔබාමා ඔක්තෝබර් මාසයේදී පියවර ගත්තේය.

2017

අමෙරිකානු 45වැනි ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් තේරී පත්විය. ඔහු ඇෆ්ගනිස්තානයේ හමුදා ක්‍රියාකාරකම් නවතා දැමීමට එකඟ නොවීය.

2019

පෙබරවාරි මාසයේදී, අමෙරිකාව සහ තලෙබාන් සංවිධානය ගිවිසුමක් අත්සන් කළේය. එහි දැක්වුණු ප්‍රධාන කරුණක් වූයේ 2021 මැයි මාසය වනවිට අමෙරිකානු හමුදා ඇෆ්ගනිස්තානයෙන් ඉවත්වීම සිදුවිය යුතු බවය. සැප්තැම්බර් මාසයේදී තලෙබාන් ප්‍රහාරයකින් අමෙරිකානු භටයෙක් මියයාමත් සමගම සාම සාකච්ඡා අත්හැර දැමීමට ජනාධිපති ට්‍රම්ප් කටයුතු කළේය.

2020

අමෙරිකානු ජනාධිපතිවරණයෙන් ජෝ බයිඩන් ජයගත්තේය. ඒ සමගම 2021 ජනවාරි වනවිට ඇෆ්ගනිස්තානයේ රඳවා සිටින අමෙරිකානු හමුදා භටයින් ගණන 2,500 දක්වා අඩුකිරීමට මැතිවරණයෙන් පරාජය වූ ට්‍රම්ප් සැලසුම් කළේය.

2021

සැප්තැම්බර් 11 වනදා වනවිට අමෙරිකානු හමුදා ඇෆ්ගනිස්තානයෙන් ඉවත්කර ගන්නා බව ජනාධිපති බයිඩන් අප්‍රේල් මාසයේදී පැවසීය. අමෙරිකානු හමුදා ඉවත්වීමත් සමග ඇෆ්ගනිස්තානයේ බලය තලෙබාන් සංවිධානය අතට පත්වීම වැළැක්විය නොහැකි බව ධවල මන්දිරය අගෝස්තු 10 වනදා නිවේදනය කළේය. අගෝස්තු 15 වනදා, කාබුල් අගනගරයේ බලය තලෙබාන් සංවිධානය නතුවිය.

ඒ සමගම ඇෆ්ගන් හමුදාව ද යටත්වෙමින් සිටි අතර සමහර ස්ථානවල දරුණු ගැටුම් ඇතිවී තිබුණි. අගෝස්තු 31 වනදා වනවිට ඇෆ්ගනිස්තානයේ සිටින හමුදා ඉවත්කර ගැනීම නිමා කරන බව ජනාධිපති බයිඩන් නැවතත් පැවසීය. ඒ අතරම විදේශිකයින් විශාල වශයෙන් සහ ඇෆ්ගන් ජාතිකයින්ද කාබුල් ගුවන්තොටුපොළට එක්රොක් විණි.

ඔවුන් බොහෝදෙනා ගේ අරමුණ වූයේ එරටින් පිටවීමය. අගෝස්තු 26 වනදා නැවතවරක් ඇෆ්ගනිස්තානයට මරණයේ හෝරාව ළඟාවිය. ඒ කාබුල් ගුවන්තොටුපොළ ආසන්නයේ සිදුකළ මරාගෙන මැරෙන ප්‍රහාර දෙකක් හේතුවෙනි. ඉන් ඇෆ්ගන් වැසියන් 170කට අධික පිරිසක් සහ අමෙරිකානු හමුදා භටයින් 13 දෙනෙක් මරණයට පත්විය. ඒ අතරම තලෙබාන් සංවිධානය එරට බලය අත්පත් කරගත්තේය. ඔවුන් පවසන්නේ එරට පාලනය කරණු ලබන්නේ ෂරියා නීතිය අනුව බවය. කාන්තාවන්ට ද විවිධ සීමා පනවා ඇත.

මේ අතර පසුගිය දින කිහිපයේදී අමෙරිකානු ඩ්‍රෝන ප්‍රහාර එල්ල විය. ඒ, කාබුල් ප්‍රහාරය එල්ල කළ බවට සැකකෙරෙන අයි එස් (කේ) සටන්කාමීන් ඉලක්ක කරගෙනය.

මරාගෙන මැරෙන ප්‍රහාර ගැන ජනාධිපති බයිඩන් පැවසුවේ, "අපි සමාව දෙන්නේ නෑ. අපිට අමතක වෙන්නේ නෑ. අපි ඔබව දඩයම් කරනවා. ඔබට වන්දි ගෙවීමට සිදුවෙනවා." ලෙසය.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now