ලංකාවේ වසරකට ආඝාත රෝගීන් 60,000ක් රෝහල්ගත වෙයි
ශ්රී ලංකාවේ ආඝාතය (Stroke) රෝගී තත්ත්වය හේතුවෙන් වාර්ෂිකව රෝගීන් 60,000ක් පමණ රජයේ රෝහල්වලට ඇතුළත් වන අතර, ඉන් රෝගීන් 4,000ක් පමණ මරණයට පත්වන බව ශ්රී ලංකා ආඝාත සංගමයේ සභාපති, ස්නායු රෝග විශේෂඥ වෛද්ය ගාමිණී පතිරණ මහතා පවසයි.
මෙය සමාජයේ පුරවැසියන්ගෙන් 25%කට ආසන්න ප්රමාණයකට බලපාන තත්ත්වයක් බව පෙන්වා දුන් ඒ මහතා, මොළයට සැපයෙන රුධිර සැපයුම අඩපණ වීම මගින් මෙම රෝගී තත්ත්වය හටගන්නා බව පැහැදිලි කළේය.
දැනට පවතින දත්ත අනුව වැඩිහිටි ජනගහනයෙන් 1,000 දෙනෙකු අතුරින් 10 දෙනෙකු මෙම රෝගයට ගොදුරු වන අතර, කොළඹ දිස්ත්රික්කය තුළ වැඩිහිටියන් 1,000කට 16 දෙනෙකු ලෙස මෙම අවදානම ඉහළ ගොස් ඇති බව ද හෙතෙම අවධාරණය කළේය.
ලොව බොහෝ රටවල ප්රධානතම මරණීය හේතුවක් ලෙස ද ආඝාතය හඳුනාගෙන තිබේ.
කට පැත්තට යාම, එක් අතක් එසවීමට නොහැකි වීම, කතාවේ වෙනසක් ඇතිවීම, සමතුලිතතාව ගිලිහීම සහ පෙනීමේ වෙනස්කම් ඇතිවීම ආඝාතයේ ප්රධාන ලක්ෂණ වේ.
පාලනයෙන් තොර අධි රුධිර පීඩනය, දියවැඩියාව, කොලෙස්ටරෝල්, දුම්පානය, ස්ථුලතාව, ආතතිය සහ නොදැනුවත්කම මීට මූලිකවම හේතු වන අතර, මෙම අවදානම් සාධක පාලනය කිරීම මගින් ආඝාත රෝගය 90%කින් පමණ වළක්වා ගත හැකි බව වෛද්යවරයා වැඩිදුරටත් උපදෙස් දෙයි.