ගමෙන් එන තරුණ මාධ්‍යවේදීන්ට නව අවස්ථාවක් - ප්‍රාදේශීය මාධ්‍ය ඒකක 340ක් ගොඩනැගීමේ සූදානමක්
ජාතික තරුණ සේවා සභාව සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව එක්ව සිදු කරන යහපත් මාධ්‍ය සංස්කෘතියක් නිර්මාණය කිරීම උදෙසා ප්‍රාදේශීය තරුණ මාධ්‍යවේදී පුහුණු වැඩසටහන අද (04දා) ජාතික තරුණ සේවා සභාවේ දී ආරම්භ කෙරුණා.
විවෘත අයදුම්පත් කැඳවීමෙන් අනතුරුව දිවයින පුරා සියලුම ග්‍රාමසේවා වසම් ආවරණය වන පරිදි තෝරාගත් තරුණ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් 341 දෙනෙකු සඳහා මෙම පුහුණුව ක්‍රියාත්මකයි.
එහි සමාරම්භක අවස්ථාව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණු අතර, එම අවස්ථාවට ජාතික තරුණ සේවා සභාවේ සභාපති, ශ්‍රී ලංකාවේ තරුණ කටයුතු අධ්‍යක්ෂ ජෙනරාල් නීතිඥ සුපුන් විජේරත්න මහතා, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් හර්ෂ බණ්ඩාර මහතා එක්ව සිටියා.
මෙහි පළමු පුහුණු වැඩසටහන ජනාධිපති මාධ්‍ය උපදේශක, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී චන්දන සූරියබණ්ඩාර මහතා විසින් සිදු කළා. මෙම පුහුණුව සඳහා තේරී සිටින තරුණ තරුණියන්ට ඉදිරියේ දී විදෙස් පුහුණු අවස්ථා හිමිවන බවත්, මෙහි අවසාන අරමුණ දිවයින පුරා ප්‍රාදේශීය මාධ්‍ය ඒකක 340ක් ගොඩනැගීම බවත් ජාතික තරුණ සේවා සභාවේ සභාපති, ශ්‍රී ලංකාවේ තරුණ කටයුතු අධ්‍යක්ෂ ජෙනරාල් නීතිඥ සුපුන් විජේරත්න මහතා පැවසුවා.
යහපත් මාධ්‍ය සංස්කෘතියක් නිර්මාණය කිරීම වෙනුවෙන් මෙම වැඩසටහන උපයෝගී කරගැනීමට අපේක්ෂා කරන බව ද සභාපතිවරයා මෙහිදී සඳහන් කළා. මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක මහතා පැවසුවේ, මාධ්‍යවේදියෙක් යනු හුදෙක් වාර්තාකරුවෙක් පමණක් නොවන බවත්, රටක ඉතිහාසය ලියනුයේ මාධ්‍යවේදීන් බවයි.
මාධ්‍යවේදී වෘත්තිකයාගෙන් එහාට ගොස්, සහකම්පනය සහිත මාධ්‍යවේදියෙක් නිර්මාණය කිරීමටත්, සියල්ල තුළ මනුෂ්‍යත්වය දකින්නෙක් බවට මාධ්‍යවේදියා පත්කිරීමටත් මෙම වැඩසටහන උපයෝගී වනු ඇතැයි අපේක්ෂා කරන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා.
ජාතික තලයේ සංවර්ධන වැඩසටහන් පිළිබඳව ග්‍රාමීය ජනතාවට සම්ප්‍රේෂණය කිරීමත්, ග්‍රාමීය ජනතාවගේ ගැටලු සහ ඔවුන් මුහුණපාන අභියෝග පිළිබඳව ජාතික තලයේ කතාබහක් ඇති කිරීම වෙනුවෙන් මැදිහත්වීමටත් මාධ්‍යවේදියාට වගකීමක් ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
මාධ්‍ය යනු රටක දිශානතිය තීරණය කරන ප්‍රධාන බලවේගයන් පහෙන් එකක් බවත්, එම බලවේගය රට සුබදායී දිශානතියට රැගෙන යාම වෙනුවෙන් භාවිත කළ යුතු බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.
සමාජය සාධනීය තලයකට ඔසවා තබන “නව ගුණාත්මක මාධ්‍යවේදීන්” බිහිකිරීම උදෙසා මෙම වැඩසටහනන උපකාරී වන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවා. මෙම පුහුණුවේදී මාධ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ සියලු ක්ෂේත්‍ර පිළිබඳව පුහුණු වැඩසටහන් පැවැත්වීමට නියමිත අතර, ඒ අනුව ඡායාරූපකරණය, වීඩියෝකරණය, නිවේදනය, පුවත්පත් කලාව, සංවර්ධන සන්නිවේදනය, ඩිජිටල් සහ නව මාධ්‍ය ආදී සියලු ක්ෂේත්‍ර ආවරණය වන පරිදි පුහුණු සැසි පැවැත්වීමට නියමිතයි.