ඉතිහාසයේ ප්‍රථම වතාවට ක්ෂේත්‍ර මෙහෙයුම් සඳහා මේ නිලධාරීන්ට යතුරුපැදි දෙයි
ශ්‍රී ලංකාවේ උග්‍ර වූ සංකීර්ණ සමාජ-ආර්ථික අර්බුදයක් ලෙස සලකන අලි-මිනිස් ගැටුම සඳහා මෙතෙක් පැවති කෙටිකාලීන හා තාවකාලික ක්‍රියාමාර්ග වෙනුවට, විද්‍යාත්මක පදනමකින් යුතු තිරසර විසඳුම් කරා එළඹීමේ ජාතික අවශ්‍යතාව සපුරාලමින් පුළුල් වැඩපිළිවෙළක් මේ වන විට ආරම්භ කර ඇති බව පරිසර අමාත්‍යාංශය සඳහන් කරයි.
ඒ අනුව ක්ෂේත්‍ර මට්ටමේ ගැටුම් කළමනාකරණයේදී මෙතෙක් පැවති ප්‍රධානතම බාධාව වූ මානව හා භෞතික සම්පත් හිඟයට ප්‍රායෝගික විසඳුමක් දෙමින්, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු ඉතිහාසයේ ප්‍රථම වතාවට ක්ෂේත්‍ර මෙහෙයුම් සඳහා වාහන 294ක් එකවර ලබා දීමට පියවර ගෙන ඇති බව සඳහන්. මෙම යතුරු පැදි ලබාදීමේ පළමු අදියර ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් ඇරඹුණි.
ඒ අනුව නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත්දා (02) නැගෙනහිර අම්පාර කලාපයේදීත්, පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් පුත්තලම කලාපයේ වනජීවී නිලධාරීන් වෙත යතුරු පැදි ලබාදීමද සිදු කර ඇත.
එසේම නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (04) දින පොළොන්නරුව – මාතලේ කලාපය ආවරණය කරමින් යතුරු පැදි ලබාදීම සිදුව තිබෙනවා.
එමඟින් වන අලින් ගම්වැදීම් පිළිබඳ තොරතුරු ලද විගස දුෂ්කර මාර්ග ඔස්සේ වුවද ඉතා කෙටි කාලයකින් අදාළ ස්ථාන වෙත ළඟාවීමේ මෙහෙයුම් හැකියාව නිලධාරීන්ට හිමිවන බව සඳහන්.
එමෙන්ම ගැටුම් බහුල ප්‍රදේශ සහ අලි මංකඩ ආශ්‍රිතව දෛනික මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් විධිමත්ව පවත්වාගෙන යාමට මෙන් ම ග්‍රාමීය ජනතාවගේ ජීවිත, නිවාස හා වගාබිම් ආරක්ෂා කරන අතරම වන අලින්ගේ පැවැත්මද තහවුරු වන ලෙස සක්‍රීය සහජීවන යාන්ත්‍රණයක් ගොඩනැගීමද සිදු වේ.
ඒ අනුව මෙම ප්‍රවේශය හරහා ක්ෂේත්‍ර නිලධාරීන්ගේ ප්‍රතිචාර දැක්වීමේ වේගය හා කාර්යක්ෂමතාව ඉහළ නැංවෙන අතර, අලි-මිනිස් ගැටුම අවම කර සහජීවනය තහවුරු කිරීමේ විද්‍යාත්මක ගමන්මග ශක්තිමත් කෙරෙනු ඇති බවට අපේක්ෂා කරන බවයි පරිසර අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.