ඩුබායි හමුදාවට කොටු වූ ලංකාවේ අපරාධකරුවන් 21ක් - මැදපෙරදිග යුද රහස් ෆෝන් වල තියාගෙන ඉඳලා මාට්ටු
ශ්‍රී ලංකාව තුළ විවිධ අපරාධවලට චෝදනා ලැබ සිටියදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පලා ගොස් සැඟවී සිටි ශ්‍රී ලාංකිකයන් 21 දෙනකු මෙරටට පිටුවහල් කර ඇති බව වාර්තා වේ.
ඒ අතර තරුණියන් දෙදෙනකුද සිටින අතර, ඉතිරි පිරිස විවිධ ප්‍රදේශවල පදිංචි පිරිමි පුද්ගලයන් 19 දෙනකු බව සඳහන්. මැදපෙරදිග යුද්ධ සමයේ භාවිතා කළ ඩ්‍රෝන යානා, මිසයිල සම්බන්ධ වීඩියෝ සහ ඡායාරූප තම ජංගම දුරකථන තුළ තබාගෙන සිටියදී එරට ආරක්ෂක අංශ විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවද වාර්තා වේ.
පසුව ඔවුන් ගුවන් යානා දෙකකින් මෙරටට පිටුවහල් කර තිබේ.
කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයේ පැවති අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් එම ගුවන් යානා මත්තල ගුවන් තොටුපොළ වෙත යොමු කර ඇති අතර, පසුව කාලගුණ තත්ත්වය යහපත් වීමෙන් අනතුරුව යළි කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.
අදාළ පිරිස කටුනායක ගුවන් තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු, ඔවුන් අදාල පොලිස් ස්ථාන වෙත භාර දීමට පියවර ගෙන ඇති බවද වාර්තා වේ.