මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක මංකොල්ලයක් - කථානායක, ජනපති සහ මුදල් කමිටුව දැඩි නිශ්ශබ්දතාවයක
මහා භාණ්ඩාගාරයේ සිදුවූවා යැයි කියන ඇමෙරිකා ඩොලර් මිලියන 2.5ක මූල්‍ය මංකොල්ලය සම්බන්ධයෙන් විධිමත් පාර්ලිමේන්තු විමර්ශනයක් ඉල්ලා ලිඛිතව දැනුම් දී මාසයක් ගතවී ඇතත්, කථානායකවරයා මේ දක්වා කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා නිශ්ශබ්දව සිටින බව ‘ෆ්‍රී ලෝයර්ස්’ සංවිධානය පවසයි.
එම සංවිධානය චෝදනා කරන්නේ, රජයේ නිල චක්‍රලේඛ හා විධිවිධාන උල්ලංඝනය කරමින් මෙම නිශ්ශබ්දතාවය පවත්වාගෙන යාම හේතුවෙන්, අදාළ මූල්‍ය වංචාව සම්බන්ධ සාක්ෂි විනාශ කිරීමට හෝ යටගැසීමට ඉඩ සැලසෙමින් ඇති බවයි.
ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතාගේ අත්සනින් යුතුව කථානායකවරයා වෙත නැවත යොමු කළ විශේෂ ලිපියක් මගින් මෙම චෝදනා ඉදිරිපත් කර ඇති බවද සඳහන් වේ.
2026 අප්‍රේල් 22 වැනිදා මුල්වරට මෙම සිද්ධිය සම්බන්ධයෙන් ලිපියක් යොමු කළද, එය ලැබුණු බව තහවුරු කිරීම හෝ අවශ්‍ය පියවර ගැනීම කථානායක කාර්යාලය මෙතෙක් සිදු කර නොමැති බවද එම සංවිධානය පෙන්වා දෙයි.
එමෙන්ම පාර්ලිමේන්තුවේ මුදල් කමිටුවටද චෝදනා එල්ල කරමින්, අදාළ ලේඛන ඉදිරිපත් කිරීමට මාසයක කාලයක් ලබාදීම මඟින් වංචාකරුවන්ට සාක්ෂි වෙනස් කිරීමට අවස්ථාව ලැබී ඇති බවත් ඔවුන් සඳහන් කරයි. රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවද තම වගකීම් පැහැර හැර ඇති බවත්, පසුගිය මාසයේදී පාර්ලිමේන්තුවට නිතිපතා පැමිණි ජනාධිපතිවරයාද මෙම සිද්ධියෙන් පසුව සභාවට පැමිණ නොමැති බවත් ලිපියේ සඳහන් කර ඇත.
මෙවැනි තත්ත්වයක් හමුවේ රාජ්‍ය මූල්‍ය පද්ධතිය පිළිබඳ මහජන හා ආයෝජක විශ්වාසය බිඳ වැටී ඇති අතර, රුපියල දුර්වල වීම හා කළු කඩ විනිමය වෙළඳපොළ ශක්තිමත් වීම වැනි බලපෑම් ඇතිව ඇති බවද එම සංවිධානය පෙන්වා දෙයි.
අවසානයේ ‘ෆ්‍රී ලෝයර්ස්’ සංවිධානය අවධාරණය කරන්නේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වැනි ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුව සතු මූල්‍ය බලතල ක්‍රියාත්මක කරමින් වහාම විධිමත් පාර්ලිමේන්තු විමර්ශනයක් ආරම්භ කළ යුතු බවයි.