ඩොලර් ගිලින ඉන්ධන ආනයනය - 2026 මුල් මාස හය කාලයේදී වැයවූ මුදල මෙන්න
2026 වසරේ මුල් මාස හය තුළ, එනම් ජනවාරි සිට ජුනි දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ ඉන්ධන ආනයනය සඳහා වැය කළ මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 3,168.4ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
එය 2025 වසරේ එම කාලය තුළ ඉන්ධන ආනයනය සඳහා වැය කළ ඇමෙරිකානු ඩොලර් මිලියන 1,995.7 හා සැසඳීමේදී සියයට 58.8ක ඉහළ යාමක් බව මහ බැංකු වාර්තාවේ සඳහන් වේ.
මේ අතර, අදාළ කාලය තුළ බොරතෙල් ආනයන වියදමද ඇමෙරිකානු ඩොලර් මිලියන 479.5ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය පෙර වසරේ අදාළ කාලයට සාපේක්ෂව සියයට 7.5ක වැඩිවීමකි.
එමෙන්ම පිරිපහදු කළ ඛනිජතෙල් ආනයනය සඳහා වැය කළ මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 2,538.6ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය සියයට 78.7ක සැලකිය යුතු වර්ධනයක් බව මහ බැංකුව පෙන්වා දෙයි.
ගල් අඟුරු ආනයන වියදමද අදාළ කාලය තුළ ඇමෙරිකානු ඩොලර් මිලියන 150.4ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය පෙර වසරේ එම කාලයට සාපේක්ෂව සියයට 16.1ක වැඩිවීමක් වේ.
ඒ අනුව, 2026 වසරේ පළමු අර්ධය තුළ ඉන්ධන සහ බලශක්ති ආශ්‍රිත ආනයන වියදම් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව මහ බැංකු දත්ත මගින් පෙන්වා දෙයි.