පොඩි ලැසීව බේරන්න ලංකාවෙන් නීතිඥවරු දෙදෙනකු ඉන්දියාවට
නීතිවිරෝධී ලෙස ඉන්දියාවට ඇතුළු වූ බවට එල්ල වී ඇති චෝදනා මත එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර සිටින ජනිත් මධුසංඛ නොහොත් පොඩි ලැසී වෙනුවෙන් නීති උපදෙස් සහ ඇප ලබා ගැනීම සඳහා නීතිඥවරුන් දෙදෙනෙක් ඊයේ (18) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපළෙන් ඉන්දියාව බලා පිටත්ව ගියහ.
පේෂල කංගොඩආරච්චි සහ නවීන් ජයමාන්න යන නීතිඥවරුන් මෙලෙස ඉන්දියාව බලා ගිය බවට වාර්තා වේ.
එහිදී අදහස් දක්වමින් ඔවුන් පැවසුවේ, පොඩි ලැසීට එරෙහිව එල්ල වී ඇති එකම චෝදනාව වන්නේ ඉන්දියාවට නීතිවිරෝධී ලෙස ඇතුළු වීම පමණක් බවත්, ඔහුට ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය උපදෙස් ලබාදෙමින් ඇප ඉල්ලීමට තමන් කටයුතු කරන බවත්ය.
ශ්‍රී ලංකා පොලිසියට පොඩි ලැසී සොයා ගැනීමට අවශ්‍ය යම් අපරාධ චෝදනාවක් හෝ සැකකරුවෙකු ලෙස නම් කිරීමක් නොමැති බවත්, ශ්‍රී ලංකාවේ අධිකරණ කිහිපයක ඔහුට එරෙහි නඩු කිහිපයක් විභාග වන නමුත් ඒවා සඳහා වරෙන්තු නිකුත් වී නොමැති බවත්, එම නඩුවලට අවශ්‍ය සහය තමන් ලබා දෙන බවත් එම නීතිඥවරුන් ප්‍රකාශ කළහ.
ඉන්දියාවේදී තම සේවාදායකයා වෙනුවෙන් දැනටමත් ඉන්දීය නීතිඥවරුන් කිහිපදෙනෙකු පෙනී සිටින බවත්, ඉන්දියාවේදී ඇප ලැබුණහොත් ශ්‍රී ලංකාවේදී ඔහුගේ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් මතු විය හැකි බවත් ඔවුන් වැඩිදුරටත් සඳහන් කළ බව වාර්තා වේ.
මෙම නඩුව ලබන 21 වැනිදා ඉන්දියාවේ මුම්බායි හි තානේ (Thane) අධිකරණයේදී විභාග වීමට නියමිතය.
