හැකර් සිද්ධියට මහ බැංකු අධිපති සහ භාණ්ඩාගාර ලේකම් හෙට මුදල් කාරක සභාවට
මහා භාණ්ඩාගාරයේ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් පරිගණක හැකර්වරුන් පිරිසක් සතු වීමේ බරපතළ සිද්ධියක් සම්බන්ධයෙන් කරුණු විමසීමට මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සහ මහ බැංකු අධිපතිවරයා හෙට (30) රජයේ මුදල් පිළිබඳ කාරක සභාව හමුවට කැඳවා තිබේ.
රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කළේ හෙට පස්වරු 2.00ට මෙම කැඳවීම සිදුකර ඇති බවයි.
මේ අතර, සිද්ධියට අදාළව රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයේ නිලධාරීන් පස් දෙනෙකුට විදෙස් ගමන් තහනමක් පැනවීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (28) පියවර ගත්තේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාසය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, අදාළ නිලධාරීන්ගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමට ද නියෝග කළේය.
සිද්ධියේ සංවේදීතාව සලකා නඩු ගොනුව ආරක්ෂිතව සේප්පුවක බහා තැබීමටත්, මෙවැනි වැරදි නැවත සිදු නොවීමට වහාම පියවර ගන්නා ලෙස මහ බැංකුවට නියෝග කිරීමටත් අධිකරණය කටයුතු කළේය.