යෂ් නයන්තාරාව ඉහළටම ඔසවයි – ‘ඇය සැබෑම Lady Superstar
ඉන්දීය සිනමාවේ ජනප්‍රිය නළු යෂ්, සිය නවතම සිනමා නිර්මාණය වන ‘Toxic’ චිත්‍රපටයේදී පළමු වරට නයන්තාරා සමඟ රංගනයෙන් එක්වීම පිළිබඳ අදහස් දක්වමින් ඇයව ඉහළින්ම අගය කර තිබේ.
ගීතු මොහාන්දාස් විසින් අධ්‍යක්ෂණය කළ ‘Toxic’ චිත්‍රපටයේ ට්‍රේලර් එළිදැක්වීමේ උත්සවය බෙංගලූරුවේදී පැවැත්වුණු අතර, එහිදී යෂ් නයන්තාරාගේ රංගනය සහ වෘත්තීයභාවය පිළිබඳ අදහස් පළ කළේය.
නයන්තාරාට චිත්‍රපටයේ රූගත කිරීම් සඳහා ඉතා සීමිත කාලයක් තිබූ බවත්, ඇයගේ දින වෙන්කර ගැනීමේ ගැටලු හේතුවෙන් ඇයගේ දර්ශන කඩිනමින් රූගත කිරීමට සිදුවූ බවත් යෂ් සඳහන් කළේය. “නයන්තාරා මේ චිත්‍රපටයට එක්වූ අවස්ථාවේ ඇයගේ දින සම්බන්ධයෙන් යම් ගැටලුවක් තිබුණා.
ඒ නිසා රූගත කිරීම් ඉතා ඉක්මනින් සිදුකිරීමට සිදුවුණා. අපට වැඩි කාලයක් තිබුණේ නැහැ. ඒ සියලු දේ මැද ඇය වෘත්තීයමය ආකාරයෙන් සිය කොටස අවසන් කළා. ඇය ඇගේ උපරිමය ලබාදුන්නා,” යනුවෙන් යෂ් පවසා තිබේ.
නයන්තාරාගේ රංගනය අගය කරමින් ඇයව “Lady Superstar” ලෙස හඳුන්වා දුන් යෂ්, ‘Toxic’ චිත්‍රපටයේ ඇයට හිමි චරිතය සඳහා ඇය ඉතා සුදුසු තේරීමක් බවද සඳහන් කළේය. “මේ වගේ චිත්‍රපටයක් තෝරාගෙන ඇය කළ දේ කිරීමට විශාල පරිණතභාවයක් සහ ගෞරවයක් අවශ්‍යයි.
ඇය සැබෑම Lady Superstar කෙනෙක්. ඇයට තිබෙන වෙළෙඳපොළ සහ ඇගේ රසිකයන් ඇයට කොතරම් ආදරය කරනවාද කියලා මම දන්නවා,” යනුවෙන් ඔහු සඳහන් කර ඇත. එමෙන්ම, ‘Toxic’ චිත්‍රපටයේ නයන්තාරා යෂ්ගේ සහෝදරියගේ චරිතයට පණ පොවන බවටද ඔහු ඉඟියක් ලබා දී තිබේ.
“ඇය ‘Toxic’ චිත්‍රපටයේදී අතිශය බලවත් පෙනුමකින් සිටිනවා. කෙනෙකුට සිටිය හැකි අතිශය බලවත් සහෝදරියක් වගේ ඇය පෙනෙනවා. ඇය එම චරිතය ඉතා විශිෂ්ට ලෙස ඉදිරිපත් කළා,” යනුවෙන් යෂ් පවසා ඇත. මුලින් චිත්‍රපටයට එක්වීමට නයන්තාරා දෙගිඩියාවෙන් මේ අතර, ‘Toxic’ චිත්‍රපටයට මුලින් එක්වීමට තමන් දෙගිඩියාවෙන් සිටි බව නයන්තාරාද අනාවරණය කර තිබේ.
චිත්‍රපටයේ නළු නිළියන් විශාල සංඛ්‍යාවක් සිටීම හේතුවෙන් තමන් එය භාරගැනීම සම්බන්ධයෙන් සැලකිලිමත් වූ බව ඇය සඳහන් කර ඇත. “ගීතු මොහාන්දාස් මට චිත්‍රපටය ගැන කතා කළ වෙලාවේ මම ඒ ගැන එතරම් විශ්වාසයකින් හිටියේ නැහැ. චිත්‍රපටයේ නළු නිළියන් ගොඩක් සිටින නිසා, සාමාන්‍යයෙන් එවැනි චිත්‍රපටයක් තෝරාගැනීමේදී මම ටිකක් සැලකිලිමත් වෙනවා,” යනුවෙන් නයන්තාරා පවසා තිබේ.
කෙසේ වෙතත්, ගීතු මොහාන්දාස් විසින් චිත්‍රපටයේ කතාව ඇයට පැහැදිලි කිරීමෙන් අනතුරුව, ‘Toxic’ සඳහා එක්වීමට ඇය තීරණය කර තිබේ. “යෂ් තරම් මහන්සි වන නළුවෙක් මම දැකලා නැහැ” මේ අතර, යෂ්ගේ කැපවීමද නයන්තාරාගේ විශේෂ ප්‍රශංසාවට ලක්ව තිබේ.
යෂ්ව “Rocky Bhai” ලෙස හඳුන්වමින් ඇය පවසා ඇත්තේ, තමන් මෙතෙක් දැක ඇති වඩාත්ම වෙහෙස මහන්සි වී වැඩ කරන නළුවා යෂ් බවයි. “යෂ් තරම් මහන්සි වී වැඩ කරන නළුවෙක් මම කවදාවත් දැකලා නැහැ.
සෑම දිනකම රූගත කිරීම් පසුබිමේදී ඔහු වැඩ කරන ආකාරය දැකලා මම පුදුම වෙනවා,” යනුවෙන් ඇය සඳහන් කර තිබේ. ‘Toxic’ චිත්‍රපටය වෙනුවෙන් යෂ් සිය ජීවිතයේ වසර 4 හමාරක පමණ කාලයක් කැප කර ඇති බවත්, එම කාලය තුළ සිය පවුල, දරුවන් සහ පෞද්ගලික ජීවිතය වෙනුවෙන් ගත කළ හැකි කාලය පවා කැප කළ බවත් නයන්තාරා වැඩිදුරටත් සඳහන් කර ඇත.
ගීතු මොහාන්දාස් විසින් අධ්‍යක්ෂණය කරන ‘Toxic’ චිත්‍රපටයේ යෂ්, නයන්තාරා, කියාරා අද්වානි, හුමා කුරේෂි, රුක්මිණී වසන්ත සහ තාරා සුතාරියා ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙති. චිත්‍රපටයේ නයන්තාරා ‘ගංගා’ නමැති බියකරු පාතාල චරිතයකට පණ පොවන අතර, ‘Toxic’ අගෝස්තු 26 වැනිදා සිනමාහල් වෙත නිකුත් කිරීමට නියමිතය.