බ්‍රවුසර් ටැබ් එක වැහුවට WhatsApp Web වහෙන්නේ නැහැ - සයිබර් අපරාධකරුවන්ගෙන් බේරෙන්න ඉන්දීය විශේෂ අනතුරු ඇඟවීම මෙන්න
WhatsApp හරහා රහස්‍ය තොරතුරු හුවමාරු කර ගැනීමේදී සැලකිලිමත් වන ලෙසත්, විශේෂයෙන් පොදු හෝ වෙනත් පුද්ගලයන්ට ප්‍රවේශ විය හැකි පරිගණකවල WhatsApp Web භාවිත කිරීමෙන් වළකින ලෙසත් ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය (MHA) ජනතාවට අනතුරු අඟවා තිබේ.
සයිබර් අපරාධකරුවන් විසින් සක්‍රියව පවතින WhatsApp Web සැසි අවභාවිත කරමින් පරිශීලකයන්ගේ ගිණුම්වලට අනවසරයෙන් ප්‍රවේශ වීමේ අවදානමක් පවතින බව එම අමාත්‍යාංශය පෙන්වා දෙයි. ඉන්දීය සයිබර් අපරාධ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය (I4C) යටතේ ක්‍රියාත්මක වන ජාතික සයිබර් අපරාධ තර්ජන විශ්ලේෂණ ඒකකය (NCTAU) විසින් මෙම අවදානම නිරීක්ෂණය කර ඇති බව නිල නිවේදනයක සඳහන් වේ.
විශේෂයෙන්ම පොදු පරිගණකවල හෝ වෙනත් පුද්ගලයන්ට භාවිත කළ හැකි උපාංගවල WhatsApp Web ගිණුම්වලින් ඉවත් නොවී සැසි සක්‍රියව තැබීම බරපතළ ආරක්ෂක අවදානමක් බව ද එම නිවේදනයේ අවධාරණය කර තිබේ.
ඒ අනුව, සක්‍රිය WhatsApp Web සැසියක් අවභාවිත කිරීමට හැකි වුවහොත් සයිබර් අපරාධකරුවන්ට පෞද්ගලික සංවාද කියවීමට, ගිණුම් හිමිකරු ලෙස පෙනී සිටිමින් පණිවිඩ යැවීමට, සම්බන්ධතා ලැයිස්තුවට සහ කණ්ඩායම් සංවාදවලට ප්‍රවේශ වීමට හැකියාව පවතී.
එම තොරතුරු වංචාකාරී ක්‍රියාකාරකම්, ෆිෂිං (Phishing) සහ සමාජ ඉංජිනේරුකරණය (Social Engineering) වැනි සයිබර් අපරාධ සඳහා යොදාගත හැකි බවට ද අනතුරු අඟවා ඇත. කාර්යාලීය පරිගණක, පොදු පරිගණක, අන්තර්ජාල කැෆේ, හෝටල්වල ව්‍යාපාරික මධ්‍යස්ථාන සහ වෙනත් පුද්ගලයන්ට ප්‍රවේශ විය හැකි උපාංගවල WhatsApp Web භාවිතයෙන් හැකිතාක් වළකින ලෙස පරිශීලකයන්ට උපදෙස් දී තිබේ.
එමෙන්ම, WhatsApp Web සැසියක් දිගු වේලාවක් සක්‍රියව තබා නොගන්නා ලෙසත්, සෑම භාවිතයකින් පසුවම ගිණුමෙන් නිසි පරිදි ඉවත් වන ලෙසත් දැනුම් දී ඇත. වෙබ් බ්‍රවුසරයේ ටැබ් එක වසා දැමීමෙන් පමණක් WhatsApp Web සැසිය අවසන් නොවන බව ද එහිදී අවධාරණය කර තිබේ. WhatsApp Web භාවිත කිරීම අත්‍යවශ්‍ය වන අවස්ථාවලදී Incognito හෝ Private Browsing පහසුකම භාවිත කළ හැකි නමුත්, එය ද විශ්වාසවන්ත පරිගණකවල පමණක් සිදු කළ යුතු බව සයිබර් ආරක්ෂක අංශ නිර්දේශ කරයි.
‘Among Us’ ගේම් එක හරහා උදව් ඉල්ලූ අතුරුදන් වූ දැරිය - පැය 24ක් ඇතුළත ඇයව බේරාගත් මවකගේ සහ පුතෙකුගේ වීර ක්‍රියාව
තවද, තම ගිණුමෙන් අනපේක්ෂිත පණිවිඩ යැවීම හෝ හඳුනන පුද්ගලයන්ගෙන් සැක සහිත ප්‍රතිචාර ලැබීම වැනි අසාමාන්‍ය ක්‍රියාකාරකම් පිළිබඳව අවධානයෙන් සිටින ලෙස ද පරිශීලකයන්ට උපදෙස් දී තිබේ. මීට අමතරව, පරිගණක මෙහෙයුම් පද්ධති, වෙබ් බ්‍රවුසර සහ ආරක්ෂක මෘදුකාංග නිරන්තරයෙන් යාවත්කාලීන කර තබා ගැනීමත්, සැක සහිත ගොනු බාගත කිරීමෙන් සහ අනවසරයෙන් වෙනස් කරන ලද මෘදුකාංග භාවිතයෙන් වැළකීමත් වැදගත් බව පෙන්වා දී ඇත. නි
ල කටයුතු සිදුකරන හෝ සංවේදී තොරතුරු හුවමාරු වන පරිසරයන්හිදී කාර්යාලීය පරිගණක හරහා WhatsApp Web භාවිත කිරීමෙන් වළකින ලෙස ආයතනවලට ද උපදෙස් ලබාදී තිබේ.
සයිබර් අපරාධ අවදානම් අවම කර ගැනීම සඳහා නිරන්තර අවධානයෙන් කටයුතු කිරීම, භාවිතයෙන් පසු ගිණුම්වලින් ඉවත් වීම සහ තම ඩිජිටල් අනන්‍යතාව ආරක්ෂා කර ගැනීම අත්‍යවශ්‍ය බව ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් අවධාරණය කරයි.