අද සිට ඔක්තෝබර් මස 15 වැනිදා දක්වා වූ මාසයක කාලයක් මේ කලාප වසා දමයි - දැනුම්දීමක්
වනජීවී හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් යාල ජාතික වනෝද්‍යානයේ 01 සහ 02 කලාප (Blocks 1 & 2) අද (14) දින සිට තාවකාලිකව සංචාරකයින්ට වසා තැබීමට පියවර ගෙන ඇත.
ඒ අද සිට ඔක්තෝබර් මස 15 වැනිදා දක්වා වූ මාසයක කාලයක් සඳහායි.
යාල වනෝද්‍යානය තුළ ක්ෂීරපායී විශේෂ 44ක්, පක්ෂීන් 215ක්, උරගයින් 47ක් සහ මත්ස්යය විශේෂ 21ක් සිටී.
එසේම මෙහි සංචාරක ආකර්ෂණය වැඩිම කාලය අගෝස්තු සිට මාර්තු දක්වා වන අතර මෙවර සංචාරක සමයට එල් නිනෝ තත්ත්වය දැඩිව බලපා ඇත.
මෙම අධික උණුසුම් කාලගුණය හේතුවෙන් යාල වනෝද්‍යානයේ ජල මූලාශ රැසක්ද සිඳී ගොස් තිබෙන අතර මේ හේතුවෙන් වනෝද්‍යානයේ වාසය කරන සත්ත්වයින්ටද දැඩි ලෙස පානීය ජල ගැටලුවක් මතුව තිබෙනවා.
එසේම අධික වියළි කාලගුණය හේතුවෙන් ගහකොළ මෙන්ම තණබිම්ද වියළී ගොස් තිබෙන අතර මේ හේතුවෙන් යාල වනෝද්‍යානයේ සත්ත්වයින්ට ආහාර හිඟයකටද මුහුණ දීමට සිදුව ඇත.
එමෙන්ම පවතින තත්ත්වය හේතුවෙන් සත්ත්වයින්ගේ පිපාසය සංසිඳුවන්න වනජීවි නිලධාරීන් දැඩි පරිශ්රමයකද නිරත වේ. ඒ අනුව මේ වන විට මැණික් ගඟේ ස්ථාන 4කින් සූර්ය පැනල මෝටර යොදාගෙන ලබා ගන්නා ජලය භූගත නළ ඔස්සේ වනෝද්‍යානයේ පොකුණු වෙත මුදා හැරීමටද පියවර ගෙන ඇති බව වාර්තා වේ.
ඊට අමතරව දෛනිකව ලීටර් ලක්ෂ 02ක පමණ ජල ධාරිතාවක් බවුසර් මඟින් රැගෙන ගොස් වනෝද්‍යානයේ කෘතිම හා ස්වභාවික පොකුණු පිරවීම ද වනජීවි නිලධාරීන් විසින් සිදුකරයි.
එබැවින් පවතින වියළි කාලගුණය හේතුවෙන් ආහාර සහ ජලය සොයා යාමේදී සත්ත්වයින්ට සිදුවන බාධා අවම කිරීම සඳහා මාසයක කාලයක් යාල ජාතික වනෝද්‍යානයේ අංක 01 සහ 02 කලාප සංචාරකයින් සඳහා වසා තැබීමට වනජීවි හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.