ලෝක බෞද්ධ සංඝ සම්මේලනය ශ්‍රී ලංකාවේදී!
ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වැනි සංවත්සර සමරු උළෙල සහ 11 වැනි මහ සභාවේ දෙවැනි විධායක කමිටු සභාවාරය එළඹෙන නොවැම්බර් 28 සිට දෙසැම්බර් 02 දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට සැලසුම් කර තිබේ.
මෙම සංවිධාන කටයුතු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ ( 24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
දෙස් විදෙස් භික්ෂූන් වහන්සේලා හා ගිහි නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම සමුළුව සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබාදීම වෙනුවෙන් බුද්ධ ශාසන අමාත්‍යවරයා, ජනාධිපති කාර්යාලයේ නියෝජිතයෙකු, ආරක්ෂක ලේකම්වරයා, පොලිස්පතිවරයා සහ විදේශ අමාත්‍යාංශ නිලධාරීන්ගෙන් සමන්විත ඒකාබද්ධ කමිටුවක් පත්කිරීමට ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් දුන්හ.
1966දී ශ්‍රී ලංකාවේදී ප්‍රථමයෙන් ආරම්භ වූ මෙම ජාත්‍යන්තර බෞද්ධ සංවිධානයේ සංවත්සරය ආරම්භ වූ රටේදීම පැවැත්වීම සුවිශේෂී සන්ධිස්ථානයක් බව සංවිධායක මණ්ඩලය පෙන්වා දුන්හ.
ථෙරවාද, මහායාන හා වජ්‍රයාන සම්ප්‍රදායන් නියෝජනය කරමින් රටවල් 50කින් නියෝජිතයන් 600ක් පමණ මෙරටට පැමිණීමට නියමිත අතර, ත්‍රෛනිකායික මහා නායක හිමිපාණන් වහන්සේලා ඇතුළු මෙරට භික්ෂූන් වහන්සේලා 500කට ආසන්න පිරිසක් සහභාගී වනු ඇත.
භූතාන රජු ඇතුළු බෞද්ධ රටවල රාජ්‍ය නායකයින්ටද ආරාධනා කිරීමට අපේක්ෂා කෙරේ.
සමාරම්භක උත්සවය නොවැම්බර් 28 කොළඹ නාගානන්ද බෞද්ධ විශ්වවිද්‍යාලයේදී පැවැත්වෙන අතර, විධායක සභා රැස්වීම් හා ශාස්ත්‍රීය සම්මන්ත්‍රණ නොවැම්බර් 29දා, ලෝක සාමය පතා අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස විශේෂ පූජාව නොවැම්බර් 30 සවස, දෙසැම්බර් 01 රුවන්වැලි මහා සෑය හා මහනුවර ශ්‍රී දළදා මාළිගාව කේන්ද්‍රකරගෙන ආගමික වතාවත් සංවිධානය කර තිබේ.
මෙම සමුළුව මඟින් ශ්‍රී ලංකාවේ බෞද්ධ ප්‍රබෝධය ලෝකය හමුවේ තහවුරු කිරීමටත්, සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයටත් විශාල පිටුවහලක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ජනාධිපතිවරයා මෙහිදී පැවසුවේ, මෙම සංවත්සර උත්සවය ජාතික මට්ටමේ වැදගත්කමකින් යුක්ත බැවින් රජයේ පූර්ණ සහයෝගය ලබාදෙන බවත්, පත්කරනු ලබන විශේෂ කමිටුව මඟින් කඩිනමින් කාර්යයන් හඳුනාගෙන ඉදිරි කටයුතු සැලසුම් කළ යුතු බවත්ය. විදේශීය භික්ෂූන් වහන්සේලාට ගුවන් තොටුපළේ විශේෂ පහසුකම් සැපයීම, නාගානන්ද බෞද්ධ විශ්වවිද්‍යාලයේ යටිතල පහසුකම් ශක්තිමත් කිරීම, රාජ්‍යතාන්ත්‍රික ඇරයුම් සිදුකිරීම ඇතුළු කටයුතු ඉටුකරන ලෙසද ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්හ.
රුහුණු විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය පූජ්‍ය අකුරැටියේ නන්ද නායක ස්වාමින් වහන්සේ, නාගානන්ද බෞද්ධ විශ්වවිද්‍යාලයේ උපකුලපති ආචාර්ය පූජ්‍ය බෝදාගම චන්දිම නායක හිමිපාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ මහතා ඇතුළු නිලධාරීන් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
මෙම සංවත්සරය ශ්‍රී ලංකාවේ බෞද්ධ උරුමය ලෝකයට නැවත තහවුරු කිරීමේ විශේෂ අවස්ථාවක් බවට පත්වනු ඇතැයි බලාපොරොත්තු වේ.