අඩි 60 කින් පහළට වැටුණු ගල්වලේ සේවකයා මරුට
ගල්වලක සේවකයෙකු අඩි 60කින් පමණ පහළට ඇද වැටි මියගොස් ඇතැයි මීගොඩ පොලිසිය සදහන් කර තිබේ.
එම සේවකයා ගල් වලේ මුදුනේ සිට ලණුවක් ආධාරයෙන් පහළට බසිමින් සිටියදී එකවරම ගල්බෝරයක් පුපුරා යාමෙන් අඩි 60කින් පමණ පහළට ඇද වැටි මියගොස් තිබේ.
මෙම අනතුරින් මියගොස් ඇත්තේ පාදුක්ක හොරවල, බටහිර දූව පාර පදිංචිව සිටි කේ අනිල් ශාන්ත (52) යන අය වේ. මෙම ගල්වල මිගොඩ දම්පේ රණසිංහ මාවතේ පිහිටි ගල්වලකි.
පොලිසිය සදහන් කළේ ගල්වලේ ඊයේ (6)ගල්බෝර දැමීමෙන් පසු පහළට ඇද නොවැටුණු ගල් පහළට පෙරලීම සඳහා ලණුවක් ආධාරයෙන් කන්දේ උඩ සිට පහළට බසිමින් සිටියදී පුපුරා නොගිය ගල් බෝරයක් එකවරම පුපුරා ගොස් අඩි 60 ක පමණ උසක සිට පහළට ඇද වැටී බරපතල තුවාල ලබා තිබෙන බවයි.
එලෙස තුවාල ලැබූ එම පුද්ගලයා එහි සිටි අනෙකුත් සේවකයන් විසින් හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මිය ගොස් ඇති බව වාර්තා වේ.