හොලිවුඩ් සුපිරි නළු විල් ස්මිත්ගේ සුඛෝපභෝගී නිවසට ලෝකෙම අවධානය - නිවාස පරිශ්‍රයේ දෙවෙනි වරටත් ගින්නක්
හොලිවුඩ් සුපිරි නළු විල් ස්මිත්ට අයත් අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ කැලබසාස් ප්‍රදේශයේ පිහිටි සුඛෝපභෝගී නිවාස පරිශ්‍රයේ ගින්නක් හටගෙන ඇති බව වාර්තා වේ.
ඒ අනුව අමෙරිකානු ඩොලර් මිලියන 42ක් වටිනා අක්කර 150කින් සමන්විත එම නිවාස පරිශ්‍රයේ නඩත්තු කටයුතු වෙනුවෙන් භාවිත කරන ගොඩනැගිල්ලක මෙම ගින්න හටගෙන ඇති බව සඳහන්.
එසේම අඩි 20ක් පළල සහ අඩි 40ක් දිග එම ගොඩනැගිල්ලේ හටගත් ගින්න පැයකට අඩු කාලයක් තුළ මැඩපැවැත්වීමට ගිනි නිවීමේ භටයින් සමත්ව ඇති බව ද වාර්තා වේ.
මෙම ගින්නෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති අතර, එය අහඹු අනතුරක් නිසා හටගෙන ඇති බව ප්‍රදේශයේ පොලිස් බලධාරීන් පවසන බව සඳහන්. කෙසේ වුවද සිද්ධිය සම්බන්ධයෙන් විල් ස්මිත්ගේ නියෝජිතයින් මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැති බව වාර්තා වේ.
මේ අතර වාර්තා වූයේ විල් ස්මිත් සහ ඔහුගේ බිරිඳ වන ජේඩා පින්කට් ස්මිත්ට අයත් මෙම නිවසේ 2021 වසරේදී ද ගින්නක් හටගෙන තිබුණ බවයි.
2003 වසරේදී විල් ස්මිත් විසින් අදාළ ඉඩම මිලදී ගෙන තිබෙන අතර, නිදන කාමර 06කින් සහ නාන කාමර 13කින් සමන්විත මෙම සුඛෝපභෝගී නිවසේ ඉදිකිරීම් 2010 වසරේදී අවසන් කර ඇත.
2011 වසරේදී එම නිවස අමෙරිකානු ඩොලර් මිලියන 42කට අලෙවි කිරීමට ඉදිරිපත් කර තිබුණද, අනතුරුව එය තවදුරටත් තමන් සන්තකයේ තබා ගැනීමට ඔවුන් තීරණය කර තිබුණ බව සඳහන්.