කිලිනොච්චි වැව නිසා ජනතාව කැළඹෙයි - ධීවර ඇමති දුරකථන ඇමතුමක් දී විමර්ශන වාර්තාවක් කැඳවයි
කිලිනොච්චි වැවේ මසුන් විශාල ලෙස මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනයක් සිදුකර වාර්තාවක් ලබාදෙන ලෙස ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් උපදෙස් ලබාදී ඇති බව වාර්තා වේ.
ඒ, උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායගම් දුරකථනය ඔස්සේ සම්බන්ධ කරගනිමින් බව සඳහන්.
එහිදී අමාත්‍යවරයා ඉල්ලා ඇත්තේ මසුන් මියයාමට හේතු වූ කරුණු සම්බන්ධයෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් තොරතුරු ලබාගෙන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසයි.
කිලිනොච්චි වැවේ පහළ කොටසේ විශාල ප්‍රමාණයේ මසුන්, මිරිදිය ඉස්සන් සහ මත්ස්‍ය පැටවුන් ඇතුළු ජලජ ජීවීන් විශාල සංඛ්‍යාවක් මියගොස් ජලයේ පාවෙමින් තිබෙන බව වාර්තා වේ.
එබැවින් වැවේ ජලය මුදාහැරීමේ ක්‍රමවේදය සහ වාරිමාර්ග කටයුතු අතරතුර ඇති වූ බවට සැක කෙරෙන ගැටලු සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමේ අවශ්‍යතාව ද අමාත්‍යවරයා අවධාරණය කර ඇති අතර මෙම සිද්ධිය හේතුවෙන් මිරිදිය ධීවර කර්මාන්තයේ නිරත පවුල් රැසක ජීවනෝපායට දැඩි බලපෑම් එල්ල වී ඇති බව වාර්තා වේ.
එමෙන්ම දීර්ඝ කාලයක් පුරා වගා කළ මසුන් මෙන්ම දැල් ඇතුළු ධීවර උපකරණ ද අහිමි වීමෙන් එම ධීවරයින් ආර්ථික දුෂ්කරතාවලට මුහුණ පා සිටින බව සඳහන්.
එබැවින් අමාත්‍යවරයා උතුරු පළාත් ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලා ඇත්තේ ධීවරයින්ට සිදුව ඇති අලාභ හානි සහ ඔවුන්ගේ ජීවනෝපායට එල්ල වී ඇති බලපෑම් පිළිබඳව ද පුළුල් වාර්තාවක් ලබාදෙන ලෙසයි.
එසේම මසුන් මියයාම හේතුවෙන් වැවේ ජලයේ ගුණාත්මකභාවයට සහ පරිසරයට ඇතිවිය හැකි බලපෑම් පිළිබඳව අධ්‍යයනයක් සිදුකරන ලෙස ද අමාත්‍යවරයා උපදෙස් ලබාදී ඇති බව සඳහන්.
මෙම සිද්ධියට හේතු හඳුනාගෙන පීඩාවට පත් ධීවර ජනතාවට සාධාරණ විසඳුමක් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර ඇති බව සඳහන්.