ආදායම් බදු නොගෙවීමෙන් දැවැන්ත අර්බුදයක් - තවමත් බදු නොගෙවන්නන් හඳුනා ගැනීමට රජයෙන් පියවර
ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව මහතා ශ්‍රී ලංකාවේ ආදායම් උපයන්නන් සැලකිය යුතු සංඛ්‍යාවක් බදු දැලෙන් පිටත සිටින බව පිළිගෙන ඇති අතර අවශ්‍ය බදු නොගෙවන පුද්ගලයින් හඳුනා ගැනීම වෙනුවෙන් ශක්තිමත් යාන්ත්‍රණයක අවශ්‍යතාවය ඉස්මතු කර ඇති බව සඳහන්.
ඒ අනුව ඔහු රූපවාහිනී වැඩසටහනකට එක් වෙමින් කියා ඇත්තේ බදු පදනම පුළුල් කිරීම සඳහා රජය පියවර කිහිපයක් ගනිමින් සිටින නමුත් මෙම පියවරයන් මඟින් කොපමණ අමතර ආදායමක් උපයා ගත හැකිදැයි තක්සේරු කිරීම දුෂ්කර බවයි.
එසේම ඔහු පැහැදිලි කර ඇත්තේ සේවායෝජකයින්, බැංකු සහ සමාගම්වලට දැනටමත් බදු අඩු කර තොරතුරු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට වාර්තා කිරීමට යාන්ත්‍රණ තිබූ බැවින් වැටුප්, බැංකු පොලී සහ ලාභාංශ ආදායම මත බදු එකතු කිරීම සාපේක්ෂව පහසු බවයි.
එහෙත් බදු බලධාරීන්ට සොයා ගැනීමට වඩා දුෂ්කර ඉපැයීම් ඇති කණ්ඩායම් වශයෙන් ඔහු ඇතැම් වෘත්තිකයන්, කුඩා ව්‍යාපාර, තොග වෙළඳුන් සහ පෞද්ගලික ගනුදෙනු හරහා ආදායම් උපයන පුද්ගලයින් හඳුන්වයි.
එසේම ඒ මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාවේ ස්වයං තක්සේරු බදු ක්‍රමය යටතේ ක්‍රියාත්මක වන සමහර වෘත්තිකයන්ට ඔවුන්ගේ සැබෑ ඉපැයීම්වලට වඩා අඩු ආදායමක් ප්‍රකාශ කළ හැකි බවත්, එහි ප්‍රතිඵලයක් වශයෙන් බදු ගෙවීම් අඩු විය හැකි බවත් ය.
එමෙන්ම සියලුම වෘත්තිකයන් බදු මගහරින බව පැවසීම අසාධාරණ බව අවධාරණය කළත් ආදායම් උපයන්නන් අතර යම් කොටසක් අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩු බදු ගෙවිය හැකි බව ඔහු පැවසුවා.
මේ අතර ශ්‍රී ලාංකිකයන්ගෙන් සැලකිය යුතු සංඛ්‍යාවක් බදු ක්‍රමයෙන් පිටත රැඳී සිටිනවාද යන ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හුලංගමුව මහතා කියා සිටියේ, පවතින යාන්ත්‍රණයන් මඟින් ප්‍රමාණවත් ලෙස ආදායම අත්පත් කර නොගන්නා සැලකිය යුතු පිරිසක් සිටින බවට ඔහු විශ්වාස කරන බවයි.
එමෙන්ම ඔහු පැහැදිලි කළේ බදු බලධාරීන්ගේ අවධානය වහාම ආකර්ෂණය කර නොගෙන පුද්ගලයන්ට මුදල් උපයා ගැනීමට සහ රඳවා ගැනීමට හැකි වුවද, ප්‍රධාන මිලදී ගැනීම් සහ මූල්‍ය ගනුදෙනු මඟින් ප්‍රකාශ නොකළ ආදායම හඳුනා ගැනීමට අවස්ථා ලබා දිය හැකි බවයි.
එසේම බලධාරීන්ට මුදල් සංචලනය නිරීක්ෂණය කළ හැකි ප්‍රධාන ක්ෂේත්‍ර ලෙස හුලංගමුව මහතා වාහන මිලදී ගැනීම්, ඉඩම් පැවරීම්, දේපළ අත්පත් කර ගැනීම් සහ බැංකු ගනුදෙනු ඉස්මතු කර ඇත.
කෙසේ වුවත් විවිධ රාජ්‍ය ආයතන හරහා එවැනි තොරතුරු සම්බන්ධ කළ හැකි පූර්ණ ඒකාබද්ධ පද්ධතියක් ශ්‍රී ලංකාවේ දැනට නොමැති බව ද ඔහු සඳහන් කළා.
තවද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව, බැංකු සහ ඉඩම් ලියාපදිංචි කිරීමේ බලධාරීන් විසින් නඩත්තු කරනු ලබන දත්ත සමුදායන් සම්බන්ධ කිරීමෙන්, කලින් වාර්තා නොකළ ආදායම හඳුනා ගැනීමට රජයට ඇති හැකියාව සැලකිය යුතු ලෙස වැඩිදියුණු කළ හැකි බව ද ඔහු ප්‍රකාශ කර ඇත.
එමෙන්ම එවැනි ඒකාබද්ධ පද්ධතියක් මඟින් බදු බලධාරීන්ට ප්‍රකාශිත ආදායම මූල්‍ය ගනුදෙනු සමඟ සංසන්දනය කිරීමට සහ බදු ජාලයට ඇතුළත් කළ යුතු පුද්ගලයින් හඳුනා ගැනීමට ඉඩ සැලසෙයි.
කෙසේ වුවත් බදු පදනම පුළුල් කිරීමෙන් ශ්‍රී ලංකාවේ සමස්ත බදු ආදායම කොපමණ වැඩි කළ හැකිද යන්න නිශ්චිතවම තීරණය කිරීම දුෂ්කර බව ඔහු පිළිගත් අතර බදු අනුකූලතාව වැඩිදියුණු කිරීමෙන් රටේ බදු ආදායම සැලකිය යුතු ලෙස වැඩි කළ හැකිදැයි විමසූ විට, ඔහු කියා ඇත්තේ දැනට වාර්තා නොකළ ආදායම පිළිබඳ ප්‍රමාණවත් තොරතුරු නොමැතිව විශ්වාසදායක ඇස්තමේන්තුවක් ලබා දිය නොහැකි බවයි.
ජනවාරි 1 සිට වැටුප් වැඩිවෙන්නේ මේ විදිහටයි - විවිධ ශ්‍රේණිවලට වැටුප් වැඩිවෙන ආකාරය ගැන සංඛ්‍යා ලේඛණ එළියට
තවද පවතින පද්ධතිවල ඉපැයීම් වාර්තා කර නොමැති පුද්ගලයින්ගෙන් ලැබිය හැකි ආදායම ගණනය කිරීම විශේෂයෙන් අභියෝගාත්මක බවත් ඔහු පැහැදිලි කර ඇත.
එබැවින් රජයේ ආයතන හරහා තොරතුරු සම්බන්ධ කරන පුළුල් ඩිජිටල් පද්ධතියක් සංවර්ධනය කිරීම බදු අනුකූලතාව වැඩිදියුණු කිරීම, බදු පදනම පුළුල් කිරීම සහ රජයේ ආදායම් එකතු කිරීම ශක්තිමත් කිරීම වෙනුවෙන් වැදගත් පියවරක් වනු ඇති බව ඔහු අවධාරණය කර ඇත.