BYD ATTO 1ටත් ATTO 3 වගේම වෙයිද? - රථ හිමියන් බයවෙයි
John Keells CG Auto සමාගම විසින් BYD ATTO 3 විදුලි මෝටර් රථ ආනයනය කිරීමේදී අඩු බදු ගෙවා වංචාකාරී ලෙස රේගුවෙන් නිදහස් කරගත් බවට එල්ල වූ චෝදනා අතර, එමම ආකාරයේ ගැටළුවක් ATTO 1 මාදිලිය සම්බන්ධයෙන්ද මතුවෙමින් පවතින බව ආරංචි මාර්ග පවසයි.
ශ්‍රී ලංකාවේ BYD වාහන සඳහා බලයලත් අලෙවි නියෝජිතයා වන මෙම සමාගම, John Keells Holdings සහ Chaudhary Group එක්ව පිහිටුවා ඇති සමාගමකි.
ATTO 3 මාදිලියේ වාහන සම්බන්ධයෙන්, සැබෑ මෝටර් ධාරිතාවය 150 kW වුවද, එය 100 kW ලෙස අඩුවෙන් පෙන්වා බදු අඩු කරගෙන ඇති බවට චෝදනා එල්ල වී තිබේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් නඩුවක්ද මේ වනවිට අධිකරණය හමුවේ විභාග වෙමින් පවතී.
ඒ අතර, සමාගම පැවසුවේ මෘදුකාංග මගින් මෝටර් ධාරිතාවය අඩු කළ බවයි. එහෙත් Sri Lanka Customs අවධාරණය කරන්නේ, තමන් සැලකිය යුත්තේ වාහනයේ සැබෑ මෝටර් ධාරිතාවය බවයි. සිද්ධිය සම්බන්ධයෙන් විශේෂඥ කමිටුවක්ද පත්කර ඇති නමුත් එහි වාර්තාව තවමත් ඉදිරිපත් වී නොමැත.
150 kW සහ 100 kW වාහන අතර බදු පරතරය රුපියල් ලක්ෂ 35ක් පමණ වන බැවින්, මෙම ක්‍රියාවලිය හරහා රුපියල් බිලියන ගණනක බදු අලාභයක් සිදුවී ඇති බව මාධ්‍ය වාර්තා කරයි.
මේ අතර, ATTO 1 මාදිලිය සම්බන්ධයෙන්ද සමාන චෝදනා මතුවී ඇත. එය 45 kW ලෙස ප්‍රකාශ කරමින් මෙරටට ගෙන්වා ඇති නමුත්, වෙනත් රටවල එම මාදිලිය 55 kW ධාරිතාවයකින් යුතු බව සඳහන් වේ.
ඒ අනුව, 50 kW බදු සීමාවට පහළට ගෙනවිත් බදු අඩු කරගැනීම සඳහා මෙහිදීද මෘදුකාංග මගින් සංශෝධනයක් සිදුකර ඇති බවට සැක පළ වේ.
මෙම තත්වය සම්බන්ධයෙන් ශ්‍රීලංකා රේගු දැනටමත් අවධානය යොමු කර ඇති බවත්, ඉදිරියේදී තවත් විමර්ශන ක්‍රියාමාර්ග ගන්නා බවත් අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.