ඔයත් අහුවුනාද? - කෝටි 3ක් වංචා කළ ‘ඉන්ටනෙට් යාළුවා’රිමාන්ඩ්
අන්තර්ජාලය ඔස්සේ හිතවත්කමක් ඇතිකරගෙන ව්‍යාපාරිකයෙකු රවටා ඔහුගේ රුපියල් කෝටි තුනක මුදලක් සිය බැංකු ගිණුම් 16කට වංචාසහගතව බැර කරවාගත් බවට සැකපිට පුද්ගලයෙකු 2025 මැයි 2 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසාන් අමරසේන ඊයේ (29) නියෝග කළේය.
දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් ස්ට්‍රේට් අල්ලාහ් නමැති සැකකරු මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
බටේපොළ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු විසින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ අංශයට කළ පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ. සැකකරු අන්තර්ජාලය ඔස්සේ පැමිණිලිකරු සමග හිතවත්කමක් ඇතිකරගෙන, දින කීපයකට පසු ව්‍යාපාරයක් ආරම්භ කිරීමට යෝජනා කර ඇති බව විමර්ශන නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්හ.
පැමිණිලිකරු එයට එකඟ වීමෙන් පසු, සැකකරු ව්‍යාපාරය සඳහා රුපියල් කෝටි තුනක් ආයෝජනය කරන ලෙස පවසා ඇත. ඒ අනුව, පැමිණිලිකරු විසින් සැකකරුගේ බැංකු ගිණුම් 16කට අවස්ථා කීපයකදී එම මුදල බැර කර ඇති බව විමර්ශනවලදී හෙළි වූ බව නිලධාරීන් අධිකරණයට පැවසීය.
මුදල් බැර කිරීමෙන් පසු, සැකකරු තම ජංගම දුරකතන අක්‍රිය කර පැමිණිලිකරු සමග තිබූ සම්බන්ධතාව නතර කර ඇති බව ද නිලධාරීන් අධිකරණය හමුවේ සඳහන් කළහ.
තමන් වංචාවකට හසුවූ බව දැනගත් පැමිණිලිකරු, ඒ සම්බන්ධයෙන් පරිගණක අපරාධ අංශයට පැමිණිලි කර ඇති අතර, ඒ අනුව සිදුකළ විමර්ශනවලින් පසු සැකකරු අත්අඩංගුවට ගත් බව විමර්ශන නිලධාරීන් අධිකරණයට දැන්වීය.
මහේස්ත්‍රාත්වරයා විමර්ශන නිලධාරීන් ඉදිරිපත් කළ කරුණු සලකා බලා, සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.
