හිතාමතාම වැරදි කරන භික්ෂූන්ට දඬුවම් කරන්න සංඝාධිකරණයක්
විවිධාකාරයේ විනය විරෝධී සහ ශාසන විරෝධී කටයුතුවල නිරත වන භික්ෂූන් වහන්සේලාට ඔවුන් සතු තරාතිරම කුමක් වුව ද නොබලා නිසි දඬුවම් පැමිණවීම සහ මහා සංඝයා වහන්සේලාගේ පොදු විනය කටයුතු වඩාත් විධිමත්ව පවත්වාගෙන යෑම සඳහා වත්මන් බෞද්ධ විහාර දේවාලගම් පනත කඩිනමින් සංශෝධනය කිරීමට පියවර ගෙන ඇති බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ගාමිණී සේනාරත්න මහතා පැවසීය.
මේ සඳහා වන මූලික නිර්දේශ ඇතුළත් විශේෂ වාර්තාවක් සියලුම මහා නිකායන්හි සංඝ සභාවන්හි ලේඛකාධිකාරී ස්වාමීන් වහන්සේලාගෙන් මේ වන විටත් කැඳවා තිබේ.
මහා සංඝරත්නයේ අදහස් හා යෝජනා අන්තර්ගත එම නිල වාර්තාව අද හෙටම තමන් වෙත ලැබීමට නියමිත බවත්, එය ලැබුණු වහාම බෞද්ධ විහාර දේවාලගම් සංශෝධන පනත් කෙටුම්පත සකස් කිරීම සඳහා නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව වෙත යොමු කරන බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම සංශෝධන ක්‍රියාවලිය සම්බන්ධයෙන් නීතිපතිවරයා සමඟ පසුගිය දිනවලදී ඉතා දීර්ඝ ලෙස සාකච්ඡා පැවැත්වූ බවත්, එම සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස නීතිමය වශයෙන් අතිශය වැදගත් සහ පැහැදිලි එකඟතා කිහිපයකටම පැමිණීමට දෙපාර්ශ්වයට හැකි වූ බවත් කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේය.
නීතිපතිවරයා සමඟ ඇති කරගත් එකඟතා සහ නිර්දේශයන් සියල්ලම දැනටමත් සංඝ සභාවන්හි ලේඛකාධිකාරී හිමිවරුන් වෙත භාර දී ඇති අතර, ඒ අනුව මහා නායක හිමිවරුන් ප්‍රමුඛ නායක ස්වාමීන් වහන්සේලාගේ අනුශාසනා ද සැලකිල්ලට ගනිමින් වර්තමාන කාලයට සහ සමාජයට ඔබින පරිදි මෙම පනත සංශෝධනය කිරීමට නියමිතය.
වත්මන් සමාජය තුළ යම් යම් විනය විරෝධී සහ අකටයුතුවල නිරත වන භික්ෂූන් සම්බන්ධයෙන් ඒ ඒ මහා සංඝ සභාවන් මඟින් විවිධ විනය ක්‍රියාමාර්ග ගනු ලැබුව ද, අදාළ වැරදිකරුවන් වන භික්‍ෂූන් දිගින් දිගටම චීවරය දරාගෙන බෞද්ධ සමාජයට හානි වන අයුරින් කටයුතු කරන ඛේදනීය තත්ත්වයක් බහුලව දක්නට ලැබෙන බව ගාමිණී සේනාරත්න මහතා මෙහිදී පෙන්වා දුන්නේය.
මෙම පවතින නීතිමය හිඩැස් මඟහරවා ගැනීම සඳහා නිල සංඝාධිකරණයක් වැනි ශක්තිමත් නෛතික යාන්ත්‍රණයක් ස්ථාපනය කර, ඒ හරහා වැරදිකරුවන්ට නිසි දඬුවම් පැමිණවීමට හැකි වන පරිදි නව සංශෝධන බෞද්ධ විහාර දේවාලගම් පනතට එක් කරන බව ද බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා ස්ථිරවම ප්‍රකාශ කළේය.