වාහන ආනයන සීමාවෙන් ලොකු වෙනසක් - විස්තර හෙළි කරපු නියෝජ්‍ය ඇමති
අද (12) රැස් වූ පාර්ලිමේන්තුවේදී මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා විසින් වාහන ආනයනය සඳහා පැනවූ සීමා සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් කළේය.
සාමාන්‍ය තත්ත්වයක් යටතේ දිනකට ඩොලර් මිලියන 5.27ක වාහන ආනයනය කර තිබූ බවත් පැනවූ සීමා හේතුවෙන් එය දිනකට ඩොලර් මිලියන 3.9ක් දක්වා අඩු කරගැනීමට හැකිවූ බවත් වාහන සම්බන්ධයෙන් සමාජය තුළ ඇතිකර තිබූ බිය හේතුවෙන් වැඩිපුර වාහන ආනයනය කිරීම නිසා දිනකට ඩොලර් මිලියන 6.8 දක්වා වර්ධනයවූ අවස්ථාද තිබූ බවත් ඔහු අවධාරණය කළේය.
ඔහු පවසා සිටියේ,
"මැදපෙරදිග යුදමය තත්ත්වයේ කම්පනය විවිධ අයුරින් අපේ ආර්ථිකය ඇතුළට ඇවිත් තියෙනවා. රටක් ලෙස ඊට මුහුණ දෙන්න නම් පොදුවේ ඊට මැදිහත් වෙන්න වෙනවා.තෙල් ප්රශ්නය තමයි ප්‍රධාන වශයෙන් අපිට මුහුණ දෙන්න සිදුවුණේ. අපි ප්‍රාර්ථනා කරනවා ඒ තත්ත්වය ඉක්මණින් සමනය වෙයි කියලා.නමුත් මේ තත්ත්වය අඛණ්ඩව ඉදිරිවයට ගියොත් තවදුරටත් වර්ධනය වුණොත් රට ඇතුළේ එය කළමනාකරණය කරගැනීමට අවධානය යොමු කළ යුතුයි.ඩොලරයට ඇතිවුණු බලපෑම නිසා භාණ්ඩවල මිල ගණන් ඉහළ යන්න බලපෑමක් ඇති කළා.
මෙවැනි අර්බුදයන් කෙටි කාලයකදී සමනය වෙනවා. අපි යම් යම් උපායමාර්ග මේ අවස්ථාවේදී ගත්තා. විදේශ විනිමය අනුපාතය වගේ තත්ත්වයකදී එය සමනය වෙන්න කෙටි කාලයක් යනවා. ඩොලරයට තියෙන ඉල්ලුම හා සැපයුම අනුව තමයි මෙය තීරණය වෙන්නේ. අපි ගත්තු තීන්දු නිසා අපේ ආනයන මිල වැඩිවීමට බලපාපු අයිතම අතර වාහන ආනයනය ප්රමුඛ ස්ථානයක් ගත්තා. ඉන්ධන ඒ වගේමයි. නමුත් ඉන්ධන අපිට දැන් සීමා කරගන්න බැහැ.අපි මහජනතාවගෙන් ඉල්ලීමක් කළා ඔබගේ පුද්ගලික වාහන ආනයනය යම්තාක් දුරකට අඩුකරන්න.
පාලනය කරන්න කියලා. එයට ක්‍රමවේදයක් ඇතුළත් කළා.දැන් අපිට පෙනෙනවා යම් ආකාරයක එහි ප්‍රතිඵල ළඟාවෙමින් තිබෙනවා.2025 වර්ෂය ගත්තාම මේ ආර්ථිකය පුළුල්වෙලා යනකොට වාහන ආනයනයට දවසකට සාමාන්‍යයෙන් ඩොලර් මිලියන 5.27ක ප්‍රමාණයක් වෙනුවෙන් වාහන ආනයනය කරලා තිබුණා.අර්බුදකාරී තත්ත්වයේදීත් රට තුළ ඇති කරපු බය නිසාත් මිනිස්සු වැඩිපුර වාහන ආනයනය කරන්න ගිහින් එය දිනකට ඩොලර් මිලියන 6.8 දක්වා වර්ධනය වුණා.නමුත් අපි ගත්තු ක්‍රියාමාර්ග නිසා ජුනි 10 වෙනකනම් නිවාඩු දින අතහැරලා දින 8ට වාහන ආනයනය සඳහා ගිය ප්‍රමාණය ඩොලර් මිලියන 31.72යි. දිනකට 3.9ක්.එතනින් පෙන්නුම් කරන්නේ අපි අපේක්ෂා කළාටත් වඩා වාහන ආනයනය පහළ මට්ටමකට ගිහින් තිබෙන බව."ලෙසයි.
[203KWTC
මින් පෙරද වාහන ආනයනය සීමා කිරීමට හෝ ආර්ථිකය හැකිලීමට ඉඩ දීමට රජයට කිසිදු අදහසක් නොමැති බව නියෝජ්‍ය මුදල් අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසා ඇත.
පුද්ගලික වාහන ආනයනය සඳහා මෑතකදී ප්‍රකාශයට පත් කරන ලද 50% අධිභාරය හඳුන්වා දුන්නේ ඩොලර් අනුපාතය ඉහළ යාමෙන් ඇති වන පීඩනය සමනය කිරීම සඳහා මාස කිහිපයකට පුද්ගලික වාහන ආනයනය කල් දැමීමෙන් තාවකාලික පියවරක් ලෙස බව අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පැහැදිලි කළේය.
අධිභාරය ආනයනය සම්පූර්ණයෙන්ම අවහිර කිරීමට අදහස් නොකළ බව ඔහු අවධාරණය කළේය. සමහර පාරිභෝගිකයින් ප්‍රතිපත්තිය වරදවා වටහාගෙන ඇති බවත්, එය ස්වයංක්‍රීයව වාහන මිල 50% කින් ඉහළ යාමට හේතු වනු ඇතැයි උපකල්පනය කළ බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.