වාහන ගෙන්වීමට සීමා දැමුවොත් ලොකු අවුලක්? මිල ගණන් වෙනස් වෙයිද?

Report

වාහන ආනයනය සඳහා පනවා ඇති සීමා දීර්ඝ කිරීමෙන් මෙරට වාහන වෙළෙඳපොළ තුළ දැඩි සංකූලතා මතුවීමේ අවදානමක් පවතින බව ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ, මෙරට වාහන සඳහා පැවති ඉල්ලුම මේ වන විට සැලකිය යුතු මට්ටමකට සපුරා ඇති බැවින්, පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ වාහන ආනයනයෙන් රජයට ලැබෙන බදු ආදායම පහළ යා හැකි බවයි.

ලබන අගෝස්තු 15 වැනිදායින් පසු වාහන ආනයන ප්‍රතිපත්තිය දීර්ඝ කරන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් රජය ගන්නා තීරණය වෙළෙඳපොළේ ඉදිරි තත්ත්වයට සෘජුවම බලපාන බව ද ඔහු සඳහන් කළේය.

අන්තර්ජාතික මූල්‍ය අරමුදල (IMF) සමඟ ඇති එකඟතාවලට අනුව වාහන සඳහා අමතර අධිභාර පැනවීමේ හැකියාවක් නොමැති වුවද, දැනට ක්‍රියාත්මක අධිභාර ඉවත් කළහොත් වෙළෙඳපොළ තුළ නැවත වරක් කම්පනකාරී තත්ත්වයක් ඇතිවිය හැකි බව ද ඔහු අවධාරණය කළේය.

නටමත් වාහන සඳහා සියයට 150 සිට 200 දක්වා ඉහළ තීරුබදු අය කරන බැවින් තවදුරටත් එවැනි බදු පැනවීම සාධාරණ නොවන බව පෙන්වා දුන් ධනනාත් ප්‍රනාන්දු මහතා, රජය එකම බදු ගෙවන්නන් පිරිසක් මත දිගින් දිගටම බර පැටවීම වෙනුවට රාජ්‍ය වියදම් වඩාත් කාර්යක්ෂමව කළමනාකරණය කළ යුතු බව අවධාරණය කළේය.

ගුවනේදී ජනේලයක් ගැලවී මගියෙක් එළියට ඇදෙයි - රයන්එයාර් යානයක සිදු වූ මරණීය බියකරු අත්දැකීම

ගුවනේදී ජනේලයක් ගැලවී මගියෙක් එළියට ඇදෙයි - රයන්එයාර් යානයක සිදු වූ මරණීය බියකරු අත්දැකීම

එමෙන්ම, ආර්ථික වර්ධනය සඳහා අත්‍යවශ්‍ය ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ කඩිනමින් ක්‍රියාත්මක කිරීම හරහා බදු ආදායම ඉහළ නංවා ගැනීමට හැකි වන අතර, එමඟින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර වර්ධනයක් කරා ගමන් කරන බවට වෙළෙඳපොළට ශක්තිමත් සංඥාවක් ලබාදිය හැකි බවත් ඔහු සදහන් කර තිබේ

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ  මෙවන් අදහසක්

"අපේ නම් අදහස තමයි වාහන ආනයනය සඳහා එවැනි සීමා පැනවීම එතරම්ම හොඳ නෑ කියන එක. මොකද ඒ සඳහා වෙළෙඳපොළේ විශාල අපි කියනවා සංකූලතාවයක් ඇතිවෙනවා. මොකද එකපාරටම වාහන ආනයනය නවත්තන්න, අධිභාරයක් ගහපු ගමන්ම වැඩිපුරත් ගිහිල්ලා මිනිස්සු LC ඕපන් කරනවා. ඉතින් දැන් මෙවර අගෝස්තු 15 වෙනිදා වාහන ආනයනය දීර්ඝ කරන්න අපි දන්නෑ රජය මොන වගේ තීරණයක් ගනීද කියලා. අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ එකඟතාවයට අනුකූලවනම්, එහෙම අමතර අධිභාර ගහන්න බෑ. හැබැයි ඉතින් එකපාරට අධිභාරය ඉවත් කරොත් එහෙම, නැවත වරක් එකපාරටම වෙළෙඳපොළට පොඩි කම්පනයක් ඇතිවෙන්න පුළුවන්. අලුතින් LC ඕපන් කරලා, එවැනි දෙයක් වෙලා.

ඒ නිසා දීර්ඝ කරයිද නැද්ද කියන එක රජයේ ප්‍රතිපත්තිමය තීරණයක්. අනික් පැත්තෙන් ගත්තට පස්සේ වාහන ආනයනය ක්‍රමයෙන්, අපි කියන්නේ වාහන ආනයනය කරන සංඛ්‍යාව විදිහට දැන් ක්‍රමයෙන් වාහන ලියාපදිංචි වෙන සංඛ්‍යාව යම්කිසි ප්‍රමාණයකට අඩු වෙමින් යන්නේ. වාහන අවශ්‍ය කට්ටිය වාහන ගෙන්නගෙන තිබෙන්නේ. ඒ වගේම මම හිතන්නේ වාහන විකුණන කට්ටියත් අවශ්‍ය ප්‍රමාණයට වාහන ගෙන්නගෙන තියෙන්නේ. ඉතින් ඒ අනුව වාහන ආනයනයෙන් ලැබෙන බදු ආදායමත් ගිය වසරේ තරම්ම ලැබෙන එකක් නැහැ කියන එක තමයි පුරෝකථනය." "නමුත් වාහනවලට එහෙම අනවශ්‍ය විදිහට තීරුබදු ගහලා, මොකද දැනටමත් 150% ක් 200% ක් වගේ තීරුබද්දක් මේ වාහන සඳහා අයවෙනවා. ඉතින් එවැනි තීරුබද්දක් අය කරන එක එතරම්ම සාධාරණ නැහැ කියන එක තමයි අදහස.

අනිත් පැත්තෙන් මෙතනදි කරන්න පුළුවන් දේ තමයි රජය ආදායම් උපයගන්නවා වගේම, මේ ආදායම් උපයගන්න එකම පිරිසකගෙන් නම් ඔවුන් විශාල මහන්සියකට පත්වෙනවා. ඉතින් ඒ නිසා අර බදු ආදායම් වැදගත් වගේම වියදම් කළමනාකරණය කර ගැනීමත් ඉතාමත්ම වැදගත් කියන එක තමයි මේ අවස්ථාවේදී අපිට දැකගන්න අවශ්‍ය වෙන්නේ. අනිත් පැත්තෙන් ගත්තට පස්සේ අපේ ආර්ථික වර්ධනය සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ තමයි මේ අවස්ථාවේදී අත්‍යවශ්‍යම. මොකද ඒ හරහා බදු ආදායමත් යම්කිසි ප්‍රමාණයකට වැඩි කරගන්න පුළුවන්. අනිත් පැත්තෙන් වෙළඳපොලට සංඥාවක් දෙන්න පුළුවන් අපි ඉස්සරහට යනවා කියලා."