ලෝක දේශපාලනය උඩුයටිකුරු කළ අමෙරිකා - ඉරාන රහස් සාකච්ඡාව.. දින 60ක සටන් විරාමයක් ලඟ ලඟ

Report

එක්සත් ජනපදය සහ ඉරානය අතර දින 60ක සටන් විරාමයක් දීර්ඝ කිරීම, හෝර්මුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීම සහ ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සීමා කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙන බව Axios පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.

අමෙරිකානු නිලධාරියෙකු උපුටා දක්වමින් එම වාර්තාවේ සඳහන් වන්නේ, සටන් විරාම කාලය තුළ හෝර්මුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම සහ ඉරානය විසින් මුහුදු බිම් බෝම්බ ඉවත් කිරීම පිළිබඳව අවධානය යොමුව ඇති බවයි.

එමෙන්ම ඉරාන වරායන්ට පනවා ඇති ඇතැම් අවහිරතා ඉවත් කිරීම සහ ඉරාන තෙල් අපනයනයට අදාළ සම්බාධක ලිහිල් කිරීම පිළිබඳවද සාකච්ඡා පැවැත්වෙන බව සඳහන් වේ.

කිසිවිටෙකත් න්‍යෂ්ටික අවි සංවර්ධනය නොකරන බවට ඉරානයෙන් සහතික ලබා ගැනීම සහ එරට න්‍යෂ්ටික පොහොසත් කිරීමේ වැඩසටහන සම්බන්ධයෙන්ද මෙම සාකච්ඡාවලදී විශේෂ අවධානයක් යොමුව ඇති බව වාර්තා වේ.

එක්සත් ජනපදය සම්බාධක ඉවත් කිරීම සහ ඉරාන අරමුදල් නිදහස් කිරීම පිළිබඳවද සාකච්ඡා කිරීමට සූදානම් බව සඳහන් වෙයි.

තවද, දින 60ක කාලය තුළ අමෙරිකානු හමුදා කලාපයේ රැඳී සිටින අතර, අවසන් එකඟතාවයකට පැමිණීමෙන් පසුව පමණක් ඉවත් වනු ඇති බවද වාර්තා කර ඇත.

අන්‍යෝන්‍ය එකඟතාව මත මෙම ගිවිසුම තවදුරටත් දීර්ඝ කළ හැකි බවද Axios පවසයි. මේ අතර, The New York Times වාර්තා කළේ ටෙහෙරානය තම අධික ලෙස පොහොසත් කළ යුරේනියම් තොග අත්හැරීමට කැපවීමක් මෙම යෝජනාවට ඇතුළත් වී ඇති බවයි.