අතුරුදහන් වූවන්ගේ පවුල්වලට යුක්තිය ඉටුකරන්න: චෙම්මනි කැණීම් ගැන එක්සත් රාජධානියෙන් ශ්‍රී ලංකාවට දැනුම්දීමක්
චෙම්මනි සමූහ මිනී වළවල් සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව විශ්වසනීය සහ විනිවිද පෙනෙන පරීක්ෂණයක් සිදුකළ යුතු බව බ්‍රිතාන්‍යය අවධාරණය කර තිබේ.
එමෙන්ම, වගවීම, සංහිඳියාව සහ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් සම්බන්ධ ගැටලු ශ්‍රී ලංකා රජය සමඟ නිරන්තරයෙන් මතු කරන බවද බ්‍රිතාන්‍යය පවසයි.
බ්‍රිතාන්‍ය විදේශ, පොදුරාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කාර්යාලයේ පාර්ලිමේන්තු උප ලේකම් ක්‍රිස් එල්මෝර් සඳහන් කර ඇත්තේ, චෙම්මනි සමූහ මිනී වළවල් සම්බන්ධයෙන් සිදුවෙමින් පවතින වර්ධනයන් එක්සත් රාජධානිය සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවයි.
වාණිජ බැංකු කිහිපයක ඩොලරයේ මිල ගණන් වෙනස් වෙයි - ප්‍රධාන වාණිජ බැංකුවල අද ඩොලරයේ විනිමය අනුපාත මෙන්න
එමෙන්ම, විශ්වසනීය සහ විනිවිද පෙනෙන පරීක්ෂණයක අවශ්‍යතාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බලධාරීන් සමඟ අඛණ්ඩව සාකච්ඡා කරන බවද ඔහු සඳහන් කර තිබේ. එම පරීක්ෂණයට ශක්තිමත් අධිකරණ වෛද්‍ය ආරක්ෂණ ක්‍රමවේදයන් මෙන්ම අතුරුදහන් වූවන්ගේ පවුල් සමඟ අර්ථවත් සම්බන්ධතාවක් ද ඇතුළත් විය යුතු බව එල්මෝර් පෙන්වා දී ඇත.
කැණීම් කටයුතු අඛණ්ඩව සිදුකරන අතරතුර ජාත්‍යන්තර සහාය ලබාගැනීම සම්බන්ධයෙන් සලකා බලන ලෙස එක්සත් රාජධානිය ශ්‍රී ලංකාව දිරිමත් කර ඇති බවද ඔහු පැවසීය. වගවීම, සංහිඳියාව සහ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් පිළිබඳ කරුණු ශ්‍රී ලංකා රජය සමඟ නිරන්තරයෙන් මතු කරන බවද එල්මෝර් සඳහන් කළේය.
ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරිය එක්සත් රාජධානියේ සංචාරයක නිරත වූ අවස්ථාවේදී හිටපු බ්‍රිතාන්‍ය විදේශ ලේකම්වරිය විසින් මෙම කරුණු ඇය සමඟ සාකච්ඡා කර ඇති අතර, 2026 පෙබරවාරි මාසයේ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ හිටපු බ්‍රිතාන්‍ය නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයාද ඒ සම්බන්ධයෙන් කරුණු මතු කර තිබේ.
මෑතකදී කොළඹ පිහිටි බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය, බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර ඇති අතර, යාපනයේදී අතුරුදහන් වූවන්ගේ පවුල් කිහිපයක් සමඟද හමුවී සාකච්ඡා කර තිබේ.
ඉන්ධන මිල ගැන සප්තැම්බර් අගදී තීරණාත්මක පියවරක් - බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලකගෙන් විශේෂ හෙළිදරව්වක්
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව පිළිබඳ මූලික කණ්ඩායමේ නායකත්වය දැරීම සහ එක්සත් ජාතීන්ගේ අඛණ්ඩ වගවීමේ යාන්ත්‍රණ සඳහා සහාය ලබාදීම තුළින් ශ්‍රී ලංකාවේ සත්‍යය, යුක්තිය සහ වගවීම ප්‍රවර්ධනය කිරීමට එක්සත් රාජධානිය තවදුරටත් කැපවී සිටින බවද එල්මෝර් අවධාරණය කර ඇත.