දෙවියන් පෙන්වා සුද්දේ දැම්ම කපුවා සහ මාමා හිරේ

Sri Lanka Police Crime Law and Order
By Gagana News Mar 05, 2025 11:52 AM GMT
Gagana News

Gagana News

Report

නිවසක ආරක්ෂාවක් කරදෙන බවට සහ, පවුලේ සමගිය, දියුණුව ඇතිකර දෙන බවට පවසා, දිඹුලාගල බෝගස්වැව ප්‍රදේශයේ එක්දරු මවකගෙන් වරින්වර රුපියල් තිස්හත් ලක්ෂ පනස්දාහක් පමණ වටිනා රත්තරන් භාණ්ඩ සහ, රුපියල් ලක්ෂ තිස්පක මුදලක් වංචා කර ලබාගත් වෙහෙරගල ප්‍රදේශයේ කපුවෙක් සහ ඔහුගේ මාමා අද (05) පෙරවරුවේ අත්අඩංගුවට ගත් බව මනම්පිටිය පොලිසිය කියයි.

පාරිභෝජනයට නුසුදුසු පොල්තෙල් වෙළෙඳපොළේ

පාරිභෝජනයට නුසුදුසු පොල්තෙල් වෙළෙඳපොළේ

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වෙහෙරගල ප්‍රදේශයේ පදිංචි 33 වියති කපුවෙක් සහ පාලුගම, වලපනේ ප්‍රදේශයේ පදිංචි ඔහුගේ මාමණ්ඩිය වන 56 වියති අයෙකු බව ඒ පිළිබඳ පරීක්‍ෂණ සිදුකරන මනම්පිටිය පොලිසිය සඳහන් කරයි.

දිඹුලාගල බෝගස්වැව ප්‍රදේශයේ පදිංචි එක්දරු මවක වන 28 වියති තැනැත්තියක් මනම්පිටිය පොලිසියට ඉකුත් 05 වෙනිදා කරන ලද පැමිණිල්ලක් අනුව ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවද පොලිසිය පවසයි.

මෙම ඇදුරා නිවසේ ආරක්ෂාව කරදෙන බවට පළමුවෙන්ම එම මවගෙන් රුපියල් 70,000 ක මුදලක් ලබාගෙන ඇති අතර ඉන් අනතුරුව නිවසේ සංවර්ධන කටයුතු මෙන්ම ඇතිවී තිබෙන ආරවුල් සම්පූර්ණ විසඳා දෙන බවට පවසමින් ඇයගේත්, මවගේත්, ස්වාමියාගේත්, දරුවාගේත් අතැති සියලු රන් ආභරණ දේව යහනක තබා පූජා කිරීමට කැමැත්ත පළ කරගෙන ඇත.

ඒ අනුව මහත් පීඩනයට පත්ව සිටි එම මව තිස්හත් ලක්ෂ පනස්දාහක් වටිනා රන්ආභරණ දේවගැතියාට ලබාදී ඇති අතර කපුවා මුදල් ද ඉල්ලීමෙන් අනතුරුව මව රුපියල් ලක්ෂ දාසයක පමණ මුදලක් ණය වී ඔහුගේ ගිණුම්වලට බැර කර ඇති බව පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.

මෙම කපුවා සහ තවත් කිහිපදෙනෙකු වෙහෙරගල ප්‍රදේශයේ දීර්ඝ කාලෙක සිට මෙම දේවාලය පවත්වාගෙන යමින් විශාල පිරිසක් රවටා මුදල් ලබාගෙන ඇති බවට තොරතුරු තහවුරු වී ඇති බවත්, රුපියල් ලක්ෂ දෙසීයක් වටිනා වාහනයක් පරිහරණය කරන එම කපුවා, තමන් ලබාදුන් මුදල් ඉල්ලූ විට තර්ජනය කර ත්‍රිශුලෙන් ඇනීමට උත්සාහ දරා ඇති බවත් මව සිදුකර ඇති පැමිණිල්ලේ සඳහන් වන බව පොලිසිය පවසයි.

පැමිණිලිකාරියගේ, මවගේ ස්ථිර තැන්පතු ගිණුමක තිබු රුපියල් ලක්ෂ දොළහක් වටිනා මුදලක්ද කපුවා විසින් ලබාගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.

වැලිකන්ද ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරි එම්.එස්.එම්. ජරූල් ගේ මෙහෙයවීමෙන් මනම්පිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසේල සරත් කුමාර මහතා ඇතුළු පොලිස් නිලධාරී කණ්ඩායමක් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

ReeCha