'Fast & Furious' පිස්සුවෙන් ජපානයට ඇදෙන සංචාරකයෝ - 'Tokyo Drift' ලොවම වසඟ කරන මෝටර් රථ සංස්කෘතියක්
ජනප්‍රිය 'Fast & Furious' චිත්‍රපට මාලාවෙන් දැකගත හැකි වේගවත් මෝටර් රථ සහ වීදි ධාවන සංස්කෘතිය සැබෑවටම අත්විඳීමේ අරමුණින් විදෙස් සංචාරකයන් විශාල පිරිසක් මේ වනවිට ජපානයට පැමිණෙමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
විශේෂයෙන්ම ජපානයටම ආවේණික මෝටර් රථ සංස්කෘතියක් වන 'Japanese Domestic Market' හෙවත් JDM සංස්කෘතිය මෙලෙස සංචාරකයන්ගේ වැඩි අවධානයක් දිනාගෙන තිබේ.
ජපානයේ නිෂ්පාදිත Toyota, Honda සහ Nissan වැනි මෝටර් රථ නවීකරණය කරමින් ඒවායේ වේගය, පෙනුම සහ කාර්යසාධනය ඉහළ නැංවීම මෙම සංස්කෘතියේ විශේෂත්වයයි.
සමාජ මාධ්‍ය ඔස්සේ ලැබෙන ප්‍රචාරය සහ ජපන් යෙන් මුදල් ඒකකයේ අගය පහළ මට්ටමක පැවතීම ද මෙම සංචාරක ආකර්ෂණය ඉහළ යාමට හේතු වී ඇත.
විදෙස් වාර්තාවකට අනුව, මේ වනවිට ඇමරිකානු ඩොලර් බිලියන 6.1ක පමණ වටිනාකමක් දක්වා 2033 වසර වනවිට JDM මෝටර් රථ සංස්කෘතිය ආශ්රිත වෙළෙඳපොළ දෙගුණයකට ආසන්න වර්ධනයක් අත්කරගනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ටෝකියෝ නුවර පිහිටි A Pit Autobacs මෝටර් රථ අමතර කොටස් අලෙවිසැල මේ සඳහා සංචාරකයන් සහ මෝටර් රථ ලෝලීන් එක්රැස් වන ප්‍රධාන ස්ථානයක් බවට පත්ව තිබේ.
මහල් තුනකින් සමන්විත එම ස්ථානයේ මෝටර් රථ නවීකරණය කිරීමේ වැඩමුළුවක් මෙන්ම ධාවන කටයුතු සඳහා අවශ්‍ය සපත්තු, විශේෂිත පිටාර පද්ධති ඇතුළු විවිධ අමතර කොටස් සහ උපාංග අලෙවි කරන ස්ථාන ද පිහිටා ඇත.
එමෙන්ම JDM මෝටර් රථ ලෝලීන් අතර වඩාත් ජනප්‍රිය ස්ථානයක් වන්නේ යොකොහාමා නගරයේ පිහිටි ඩයිකොකු (Daikoku) අධිවේගී මාර්ග විවේක ස්ථානයයි.
එහිදී Nissan GT-R, Mazda RX-7 සහ Nissan Fairlady Z33 වැනි ජනප්‍රිය මෝටර් රථ රැසක් දැකගැනීමට සංචාරකයන්ට අවස්ථාව ලැබේ. විශේෂයෙන්ම 'Fast & Furious' චිත්‍රපට මාලාවේ තෙවැනි චිත්‍රපටය වන 'Tokyo Drift' හරහා ලෝක ප්‍රසිද්ධියට පත්වූ මෝටර් රථ ද මෙහිදී දැකගත හැකිය.
රුසියාවේ Novosibirsk ප්‍රදේශයෙන් පැමිණි Andrei Zaev නමැති සංචාරකයා ද එවැනි සංචාරයකට එක්ව තිබූ අතර, චිත්‍රපට සහ පරිගණක ක්‍රීඩා ඔස්සේ පමණක් දැක තිබූ මෝටර් රථ සැබෑවටම දැකගැනීමට ලැබීම ඔහුට විශේෂ අත්දැකීමක් වී තිබේ.
එමෙන්ම ඕස්ට්‍රේලියාවෙන් පැමිණි සංචාරක පවුලක් ද සිය නව යොවුන් වියේ පසුවන පුත්‍රයාගේ මෝටර් රථ පිළිබඳ උනන්දුව හේතුවෙන් ඩයිකොකු ප්‍රදේශය නැරඹීමට පැමිණ තිබේ.
JDM සංස්කෘතියේ ආරම්භය 1960 දශකය දක්වා දිව යන අතර, ජපානයේ ආර්ථික වර්ධනයත් සමඟ මෝටර් රථ භාවිතය ඉහළ යාම සහ ඒවා නවීකරණය කිරීම කෙරෙහි ජනතාව තුළ ඇති වූ උනන්දුව ඊට පදනම වී ඇත.
පාසල් වියේදීම අහස ජයගත් සුන්දර තරුණියගේ ජීවිත ගමන අවුරුදු 20දී නිමවෙයි - අවසන් මොහොතේ “Mayday, Mayday” කියමින් උදව් ඉල්ලලා
1980 දශකයේදී වීදි ධාවන කණ්ඩායම් බිහිවීමත් සමඟ මෙම සංස්කෘතිය තවදුරටත් ව්‍යාප්ත වී තිබේ. අනතුරුව 2000 දශකයේදී 'Fast & Furious' වැනි චිත්‍රපට සහ 'Gran Turismo' වැනි පරිගණක ක්‍රීඩා හරහා එය ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත්විය.
මේ වනවිට Airbnb, Klook සහ Trip.com වැනි සංචාරක සේවා ඔස්සේ JDM අත්දැකීම් ලබාගැනීමේ සංචාරක පැකේජ රැසක් හඳුන්වා දී තිබේ.
වෑන් රථයකින් සිදුකරන කණ්ඩායම් සංචාරයක් සඳහා ඇමරිකානු ඩොලර් 40ක පමණ මුදලක සිට Lamborghini Aventador රථයකින් පෞද්ගලිකව සංචාරය කිරීම සඳහා ඩොලර් 1,600ක් පමණ දක්වා මිල ගණන් පවතින බව වාර්තා වේ.
GetYourGuide සංචාරක සේවා වේදිකාව සඳහන් කර ඇත්තේ පසුගිය වසර දෙක තුළ එම වේදිකාවේ JDM සංචාර සංඛ්‍යාව තුන් ගුණයකටත් වඩා වැඩි වී ඇති බවයි.
කෙසේ වෙතත්, මෙම ජනප්‍රියත්වයත් සමඟ ගැටලුකාරී තත්ත්වයන් ද මතුව තිබේ. විශේෂයෙන්ම ඩයිකොකු ප්‍රදේශයේ මෝටර් රථ එකතුවන අවස්ථාවලදී විශාල ජනකායක් රැස්වීම හේතුවෙන් ආරක්ෂක සීමා ඉක්මවා යාම සහ අවට මාර්ගවල දැඩි තදබදයක් ඇතිවීම වැනි තත්ත්වයන් වාර්තා වේ.
ඒ හේතුවෙන් ඇතැම් අවස්ථාවලදී පොලිසිය මැදිහත් වී එම ස්ථානයේ රැස්ව සිටින පිරිස් ඉවත් කිරීමට ද කටයුතු කරයි.
එසේ වුවද, ලොව පුරා සිටින මෝටර් රථ ලෝලීන්ට චිත්‍රපටවලින් දුටු මෝටර් රථ සංස්කෘතිය සැබෑවටම අත්විඳීමට ලැබීම ජපානයේ සංචාරක කර්මාන්තයට අලුත් ආකර්ෂණයක් එක්කර තිබේ.