ලොව වෙසෙන කැස්බෑ විශේෂ 7න් 5කටම සෙවණ දෙන ලංකාවේ වෙරළ තීරය

By Malith Madushan Jun 16, 2026 07:34 AM GMT
Report

සාගර පතුලට අසීමිත පාරිසරික වටිනාකමක් සහ සුන්දරත්වයක් ලබා දෙන ලෝක මුහුදු කැස්බෑවන්ගේ දිනය අදට (16) යෙදී තිබේ.

ලෝකයේ හඳුනාගෙන ඇති මුහුදු කැස්බෑ විශේෂ හතෙන් විශේෂ පහක් වන ගල් කැස්බෑවා, දාර කැස්බෑවා, බටු කැස්බෑවා, පොතු කැස්බෑවා සහ පෙරුම් කැස්බෑවා බිත්තර දැමීම සඳහා ශ්‍රී ලංකාවේ දකුණු හා බස්නාහිර වෙරළ තීරයන් තෝරා ගැනීම විශේෂත්වයකි.

මෙම සමුද්‍ර ජීවීන්ගේ පැවැත්ම ආරක්ෂා කිරීම සඳහා පරිසර අමාත්‍යාංශය, වෙරළ සම්පත් හා වෙරළ කළමනාකරණ දෙපාර්තමේන්තුව සහ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය එක්ව විවිධ සංරක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් සිටී.

මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් මුහුදු කැස්බෑවන් වර්තමානයේ දැඩි වඳවීමේ තර්ජනයකට මුහුණ පා සිටින බවත්, මුහුදට මුදාහරින ප්ලාස්ටික් හා පොලිතින් අපද්‍රව්‍ය අනුභව කිරීම, ධීවර දැල්වල පැටලීම, බිත්තර කොල්ලකෑම් සහ වෙරළාශ්‍රිත ප්‍රදේශවල අධික ආලෝකකරණය වැනි කරුණු හේතුවෙන් ඔවුන්ගේ ගහනය සීඝ්‍රයෙන් අඩුවෙමින් පවතින බවත් පරිසරවේදීහු පෙන්වා දෙති.

ලෝක මුහුදු කැස්බෑවන්ගේ දිනය නිමිත්තෙන් වෙරළ තීරයන් පිරිසිදුව තබා ගැනීමටත්, ප්ලාස්ටික් අපද්‍රව්‍ය මුහුදට මුදාහැරීමෙන් වැළකීමටත්, කැස්බෑවන්ට බිත්තර තැන්පත් කිරීමට සුදුසු පරිසරයක් පවත්වාගෙන යාමට සහාය ලබා දෙන ලෙසත් පරිසරවේදීහු ජනතාවගෙන් ඉල්ලා සිටිති.