ස්විට්සර්ලන්තයේ 'Edelweiss Air' යළි ශ්‍රී ලංකාවට- සතියට ගුවන් වාර 3ක් සමඟින් සංචාරක වසන්තයට ඉහළම තල්ලුවක්

Report

ස්විට්සර්ලන්තයේ ගුවන් සේවයක් වන ‘එඩෙල්වයිස් එයාර්’ (Edelweiss Air), ශ්‍රී ලංකාව සහ ස්විට්සර්ලන්තය අතර සතියකට ගුවන් ගමන් තුනක් ක්‍රියාත්මක කරමින් සිය ශීත සෘතු ගුවන් මෙහෙයුම් යළි ආරම්භ කර තිබේ.

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ (BIA) සඳහන් කළේ, ශීත සෘතුව වෙනුවෙන් ගුවන් සේවයේ මෙහෙයුම් යළි ආරම්භ කිරීමත් සමඟ දෙරට අතර සෘජු ගුවන් සම්බන්ධතාව නැවතත් ශක්තිමත් වන බවයි.

එඩෙල්වයිස් එයාර් ගුවන් යානයෙන් ශ්‍රී ලංකාවට පැමිණි මගීන් පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විසින් සාම්ප්‍රදායික උඩරට නර්තන ප්‍රසංගයක් සංවිධානය කර තිබුණි.

විදේශීය සංචාරකයින්ට උණුසුම් ශ්‍රී ලාංකික පිළිගැනීමක් ලබාදීම සහ මෙරට සංස්කෘතික උරුමය හඳුන්වාදීම අරමුණු කරගනිමින් මෙම පිළිගැනීමේ වැඩසටහන පැවැත්වූ බව ගුවන්තොටුපළ සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ සංචාරක උච්චතම සමය ආරම්භ වන කාලසීමාව තුළ එඩෙල්වයිස් එයාර් ගුවන් සේවයේ ශීත සෘතු මෙහෙයුම් යළි ආරම්භ කිරීමත් සමඟ ස්විට්සර්ලන්තයෙන් මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ සංඛ්‍යාව ඉහළ නැංවීමට දායකත්වයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.