කුලියාපිටිය අනතුරේ ටිපර් රියදුරා රිමාන්ඩ්
කුලියාපිටිය, විලපොළ මංසන්ධියේ පල්ලෙවෙල පාලම මත ඊයේ (27) උදෑසන සිදුවූ මාරක රිය අනතුරක් හේතුවෙන් පාසල් සිසුවියන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු මියගොස් ඇති අතර, එම අනතුරට හේතුවූ ටිපර් රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
අනතුර සිදුවී ඇත්තේ ටිපර් රථයක් සහ පාසල් සිසුන් ප්රවාහනය කරමින් තිබූ වෑන් රථයක් එකිනෙක ගැටීමෙනි. මෙම ඛේදවාචකයෙන් පාසල් සිසුවියන් 13 දෙනෙකු තුවාල ලබා ඇති අතර, තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. තුවාල ලැබූ සිසුවියන් වහාම රෝහල්වලට ඇතුළත් කර ඇති බව පොලිස් වාර්තා සඳහන් කරයි.
කුලියාපිටිය පොලීසිය විසින් අනතුරට හේතුවූ ටිපර් රථයේ රියදුරාව අත්අඩංගුවට ගෙන ඇත. ඔහු අද (28) කුලියාපිටිය මහේස්ත්රාත් රන්දික ලක්මාල් ජයලත් මහතා හමුවට ඉදිරිපත් කරනු ලැබීය. අධිකරණය හමුවේ ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්රාත්වරයා, සැකකාර රියදුරා 2025 සැප්තැම්බර් 8 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.
පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ, අදාළ ටිපර් රථයේ රියදුරා පැය 24කට වැඩි කාලයක් නිදිවර්ජිතව රිය ධාවනය කර ඇති බවයි.
මෙම තත්ත්වය අනතුරට මූලික හේතුවක් වන්නට ඇති බවට පොලිසිය අධිකරණය හමුවේ පවසා ඇත. එමෙන්ම, ටිපර් රථයේ හිමිකරුට එරෙහිව ද ඉදිරියේදී නීතිමය පියවර ගැනීමට සූදානම් බව පොලිසිය විසින් අධිකරණයට දැනුම් දී ඇත.
කුලියාපිටිය පොලීසිය මඟින් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබන අතර, අනතුරට හේතු වූ සියලු තත්ත්වයන් සම්බන්ධයෙන් සවිස්තරාත්මක විමර්ශනයක් සිදුකරන බව පොලිස් ප්රකාශකයෙකු සඳහන් කළේය.