පුද්ගලයෙකුට පහර දුන් බව පැවසූ හේමාල්ගේ සිද්ධියේ ඇත්තම පැටිකිරිය එළියට
නීතිඥ ඉන්දික වේරගොඩ මහතා,රංගන ශිල්පී හේමාල් රණසිංහ විසින් පහරදීමක් සිදු නොකළ බවත්, “එන්න අපි කතා කරමු” යැයි පවසා අතින් ඇදීමක් පමණක් සිදුවූ බවත් ඔහු වෙනුවෙන් පෙනී සිටිමින් අද (03) ගල්කිස්ස මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ කරුණු ඉදිරිපත් කළේය.
එම කරුණු ඉදිරිපත් කෙරුණේ රංගන ශිල්පී හේමාල් රණසිංහ සම්බන්ධ සිද්ධිය ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීය. මෙම සිද්ධියට අදාළව වැල්ලවත්ත පොලිසිය විසින් අද (03) පෙරවරුවේ හේමාල් රණසිංහ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
මෙහි පැමිණිලිකරු වූයේ වෙළෙඳ දැන්වීම් නිර්මාණ ශිල්පියෙකු හා සිනමා විචාරකයෙකු වන ලක්මිණ රණසිංහය. පසුගිය ජනවාරි 8 වැනිදා හැව්ලොක් සිටි සිනමා ශාලාවේදී හේමාල් රණසිංහ විසින් පහරදීමක් සිදු කළ බවට පවසන සිද්ධිය සම්බන්ධයෙන් සීසීටීවී දර්ශන ලබාගෙන විමර්ශන අවසන් කර ඇති බව වැල්ලවත්ත පොලිසිය අධිකරණයට වාර්තා කර තිබේ.
ඒ අනුව සැකකරු වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළ නීතිඥ ඉන්දික වේරගොඩ පැවසුවේ පැමිණිලිකරු සමාජ මාධ්‍ය ඔස්සේ සිනමා නිර්මාණ පිළිබඳ විචාර හා විවේචන සිදු කරන පුද්ගලයෙකු වන අතර, තම සේවාදායකයා ජනප්‍රිය නළුවෙකු බවය.
මොවුන් දෙදෙනාම සිනමා ක්ෂේත්‍රයේ එකට කටයුතු කර ඇති අතර, පැමිණිලිකරුගේ විචාර කිහිපයක් තම සේවාදායකයාට අපහසුතාවයක් හා අවතක්සේරුවක් වන අයුරින් සිදු වූ නිසා එවැනි විචාර වලින් වළකින ලෙස තම සේවාදායකයා ඉල්ලා තිබූ බවද නීතිඥවරයා දැනුම් දුන්නේය.
එවැනි පසුබිමකදී පසුගිය 8 වැනිදා චිත්‍රපට මුහුරත් උළෙලක් අතරතුර මොවුන් දෙදෙනා මුහුණට මුහුණ හමුවූ අවස්ථාවේදී “ලක්මිණ එන්න අපි කතා කරමු” යැයි පැවසූවා පමණක් බවත් අතින් ඇදීමක් සිදු වූ බවත්, කිසිදු පහරදීමක් සිදු නොවූ බවත් නීතිඥවරයා අධිකරණයට පැවසීය. තවද මෙම සිද්ධිය සම්බන්ධයෙන් තම සේවාදායකයාට පෙර දැනුම්දීමක් නොතිබූ අතර, මාතර පොලිසිය මඟින් මවගේ නිවසට කළ දැනුම් දීමකට අනුව පොලිසියට පැමිණි බවත්, මෙම ගැටලුව සමථයකින් විසඳාගැනීමේ හැකියාව පවතින බවත් සඳහන් කර සුදුසු ඇපයක් මත සැකකරු මුදාහරින ලෙස ඉල්ලා සිටියේය.
එයට ප්‍රතිචාර වශයෙන් පැමිණිලිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අජිත් පතිරණ සඳහන් කළේ තම සේවාදායකයා සිනමා විචාරකයෙකු හා ලේඛකයෙකු වන අතර, සැකකරු විසින් මින් පෙරද මෙවැනිම පහරදීමක් සිදු කර ඇති බවයි.
එසේම ‘මරියා’ චිත්‍රපටය සම්බන්ධයෙන් විචාරයක් නොලියූ නිසා පසුගිය 8 වැනිදා පැමිණිලිකරුගේ හිස හා බෙල්ලට ඔහුගේ බිරිඳ සහ දරුවා ඉදිරියේදී පහරදීම සිදු කර ඇති බවත්, එම අනතුරෙන් ඔහු රෝහල්ගතව ප්‍රතිකාර ලබාගෙන ඇති බවත් නීතිඥවරයා පැවසීය. මෙය නීතිය අතට ගෙන ක්‍රියා කිරීමක් බවත්, සැකකරු මෙවැනි ක්‍රියා සිදු කරන පළමු අවස්ථාව මෙය නොවන බවත් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය, සැකකාර ජනප්‍රිය නළු හේමාල් රණසිංහ රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදාහැරීමට නියෝග කරමින් නඩුව ලබන මැයි මස 14 වැනිදා දක්වා කල්තැබීය