“රළ හරිම බය හිතෙන විදිහට තියෙනවා” - ඉන්දුනීසියානු නෞකා ඛේදවාචකයේ නවතම තත්ත්වය

By Malith Madushan Sep 14, 2026 09:21 AM GMT
Report

ඉන්දුනීසියාවේ ජාවා මුහුදේදී මගී ප්‍රවාහන නෞකාවක් පෙරළී යාමෙන් පුද්ගලයන් 6 දෙනෙකු මියගොස් තවත් 130 දෙනෙකු පමණ අතුරුදන්ව ඇති බව ඉන්දුනීසියානු බලධාරීන් පවසනවා. අනතුරට පත් Virgo Transport 8 නමැති නෞකාවේ සිටි පුද්ගලයන් 107 දෙනෙකු මේ වනවිට බේරාගෙන ඇති බවද වාර්තාවේ.

අයහපත් කාලගුණික තත්ත්වයක් මධ්‍යයේ නෞකාව සමඟ සන්නිවේදන සබඳතා බිඳ වැටී ඇති අතර, අනතුර සිදුවන අවස්ථාවේ එය සුරබයා නගරයේ සිට දකුණු කලිමන්තන් ප්‍රාන්තයේ බන්ජර්මසින් නගරය වෙත ගමන් කරමින් තිබූ බව සඳහන්.

බන්ජර්මසින් නගරයට කිලෝමීටර් 150ක් පමණ දකුණින් වූ මුහුදු ප්‍රදේශයකදී ඉරිදා අලුයම 2.00ට පමණ නෞකාව අවසන් වරට හඳුනාගෙන තිබෙනවා.

දැවැන්ත මෙහෙයුමක්

අනතුරට පත් පිරිස සොයා ඉන්දුනීසියානු සෙවීම් හා මුදාගැනීම් ඒජන්සිය, නාවික හමුදාව, සමුද්‍රීය පොලිසිය ඇතුළු ආයතන රැසක් එක්ව දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

නෞකා කිහිපයක් සහ හෙලිකොප්ටර් යානයක්ද සෙවීම් කටයුතු සඳහා යොදවා ඇති අතර, පුද්ගලයන් 280 දෙනෙකු පමණ මෙහෙයුමට එක්ව සිටින බව වාර්තා වනවා.

ජාවා මුහුදු කලාපයේ ගමන් කරන සියලුම නෞකාවලටද අවධානයෙන් සිටින ලෙසත්, අනතුරට පත් මගීන් පිළිබඳ තොරතුරු ලැබුණහොත් දැනුම් දෙන ලෙසත් බලධාරීන් දැනුම් දී තිබෙනවා.

අනතුරට පත් නෞකාව මීටර් 119ක් දිගින් යුක්ත වන අතර, එහි මගීන් 213 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් 30 දෙනෙකු ඇතුළුව පුද්ගලයන් 243 දෙනෙකු ගමන් කර තිබෙනවා.

නෞකාව සෙනසුරාදා රාත්‍රී 10.33ට සුරබයා නගරයෙන් පිටත්ව ඇති අතර, ඉරිදා පස්වරු 2.00ට පමණ බන්ජර්මසින් වෙත ළඟාවීමට නියමිතව තිබුණා.

කෙසේ වෙතත්, බලධාරීන්ට නෞකාවෙන් අනතුරු ඇඟවීමේ පණිවුඩයක් ලැබී ඇත්තේ ඉරිදා අලුයම 4.10ටයි.

අලියෙක් පාපන්දු ක්‍රීඩා කරයි - පිටියේ දස්කම් පෑ අලියෙක් අසාම්හි

අලියෙක් පාපන්දු ක්‍රීඩා කරයි - පිටියේ දස්කම් පෑ අලියෙක් අසාම්හි

ඥාතීන්ගේ බලාපොරොත්තුව

අනතුර පිළිබඳ ආරංචිය සැලවීමත් සමඟ මගීන්ගේ ඥාතීන් විශාල පිරිසක් බන්ජර්මසින්හි ට්‍රිසක්ටි වරායට පැමිණ තම ආදරණීයයන් පිළිබඳ තොරතුරු බලාපොරොත්තුවෙන් සිටිනවා.

බන්ජර්මසින්හි පදිංචි රුස්මිලාවතී නමැති කාන්තාවක්ද නෞකාවේ ගමන් කළ තම ඥාතීන් අට දෙනෙකු පිළිබඳ තොරතුරු සොයා වරායට පැමිණ තිබෙනවා.

ඔවුන් ජාවා ප්‍රදේශයේ ඉස්ලාමීය ආගමික නායකයන් කිහිපදෙනෙකුගේ සොහොන් නැරඹීමෙන් අනතුරුව යළි බන්ජර්මසින් වෙත පැමිණෙමින් සිටි බව ඇය සඳහන් කර තිබෙනවා.

ඔවුන් අවසන් වරට ලබාදී තිබූ තොරතුරුවලට අනුව මුහුදේ රළ ඉතා භයානක බව පවසා තිබූ බවද ඇය සඳහන් කළා. “රළ හරිම බය හිතෙන විදිහට තියෙනවා. නැත්නම් නැවක යනකොට සාමාන්‍යයෙන් මේ විදිහට නැව පැද්දෙනවාද, රළවල හැපෙනවාද?” යනුවෙන් එක් ඥාතියෙකු WhatsApp ඔස්සේ පළ කළ බව ඇය පවසා තිබෙනවා.

දිවි බේරාගත් සැමියා ගැන දැනගත් මොහොතේ කඳුළු

මේ අතර, තම සැමියා වන අහමඩ් සුපාන්දි අනතුරෙන් දිවි බේරාගෙන ඇති බව දැනගත් මොහොතේ මිස්නා නමැති කාන්තාව හැඟීම්බර වූ බවද වාර්තා වනවා.

භාණ්ඩ ප්‍රවාහන රියැදුරෙකු වන අහමඩ්, අනතුරට පත් Virgo Transport 8 නෞකාවේ ගමන් කර ඇති අතර පසුව MV Haida නෞකාව මගින් බේරාගෙන තිබෙනවා.

මේ අතර සුරබයාහි තන්ජුං පෙරක් වරායටද නෞකාවේ කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ ඥාතීන් පැමිණ තම ආදරණීයයන් පිළිබඳ තොරතුරු සොයමින් සිටිනවා. ෆ්‍රෙඩී නමැති පුද්ගලයෙකු පවසා ඇත්තේ තම බාල සහෝදරයා වන ස්ටීවි මනුහුවා එම නෞකාවේ සේවය කරමින් සිටි බවයි.

ඔහු මගීන් විනෝද කිරීම සඳහා යතුරුපුවරු වාදකයෙකු ලෙස කටයුතු කර තිබෙනවා. “නැව සුරබයා වරායේ නවතා තිබියදී දින දෙකකට පෙර අපි කතා කළා. ඊට පස්සේ මේ වනතුරු කිසිම ආරංචියක් නැහැ,” යනුවෙන් ෆ්‍රෙඩී සඳහන් කර තිබෙනවා.

තෙල් මිල නැවතත් ඉහළට- සෞදි ප්‍රහාර සහ නල මාර්ග වැසීම නිසා ගෝලීය වෙළඳපොළ දැඩි අවදානමක

තෙල් මිල නැවතත් ඉහළට- සෞදි ප්‍රහාර සහ නල මාර්ග වැසීම නිසා ගෝලීය වෙළඳපොළ දැඩි අවදානමක