සතුරාගෙන් මිනිසා බේරා ගැනීමට රති කෙලියේ යෙදුන දෙවියා
සනාතන ධර්මයේ හෙවත් හිංදු ධර්මයේ එන මහාදේවී, දේවතාවන් සියල්ලන්ම, විවිධ අවස්ථාවල විවිධ අසුරයන් නාශනය කළ ආකාරය ඔබ අසා ඇති. නමුත් රතිකෙළියේ යෙදෙන අතරතුරම අසුරයන් හා යුද්ධ කරමින් අසුර සංහාරය කිරීමේ වික්‍රමය පෙන්වා තිබෙන්නේ එක දෙවි කෙනෙකු පමණයි.
ඒ, උච්ඡිෂ්ට ගණපති. ගණපතිගේ ප්‍රධාන අවතාර 32න් 08 වැන්න තමයි ඒ. මෙහි නිදාන කතාව මෙහෙමයි. අතීතයේ එක්තරා අසුරයකු සිටියා, "විද්‍යවාන්" නමින්.(සමහර තැන්වල දණ්ඩාසුර ලෙසත් සඳහන් වෙනවා.)
මේ අසුරයා ඉතා දීර්ඝ සහ උග්‍ර තපසකින් පසුව බ්‍රහ්ම පහදවා ගන්න සමත් වෙනවා. ඔහු බ්‍රහ්මගෙන් අමරණීයත්වයේ වරය ඉල්ලනවා.
උපන්නා වූ ප්‍රාණියෙක් වේ නම් මරණය ද නියත බව පැහැදිලි කරන බ්‍රහ්ම එය ප්‍රතික්ෂේප කරනවා. එවිට මේ අසුරයා ඉල්ලනවා, එහෙමනම් ස්වාභාවිකව මියයනවා ඇරෙන්න, කිසිවෙකුට මා මැරිය නොහැකි වෙන්න වරයක් දෙන්න යනුවෙන්. බ්‍රහ්ම එයත් ප්‍රතික්ෂේප කරනවා.
අවසානයේ මේ අසුරයා ඉල්ලනවා, එහෙනම්, රතිකෙළියේ යෙදෙමින්ම මා හා යුද්ධ කරන දෙවි කෙනෙකුට හැරෙන්න මා මරාදැමිය නොහැකි වෙන වරයක් දෙන්න යනුවෙන්. බ්‍රහ්ම ඒ වරය ඔහුට ලබාදෙනවා. බ්‍රහ්මගේ වරයෙන් උද්දාමයට පත්වන අසුරයා, තුන්ලෝකයටම ආධිපත්‍යය පතුරුවන්න පටන්ගන්නවා.
කිසිදු සටනකින් ඔහු පරාජයට පත්වන්නේ නැහැ. අවසානයේ දේවගණයා ශිව දෙවියන් හමුවෙන්නට යනවා. ශිව එහිදී උපදෙස් දෙනවා, මේ සටන දිනන්න හැක්කේ ගණපතිට පමණක් බව.
ඒ අනුව දේවගණයා ගණපති හමුවෙන්න ගිහින් යාඥා කරනවා. ගණපති ඒ ඉල්ලීම භාරගෙන, උච්ඡිෂ්ට ගණපති ස්වරූපය ධාරණය කරගන්නවා.
උච්ඡිෂ්ට ගණපති සටනට එළඹෙන්නේ ශ්‍රී විඝ්නේශ්වරී හෙවත් නීල සරස්වතී දේවිය සිය උකුළේ (වම් කලවය මත) තබාගෙන. උච්ඡිෂ්ට ගණපතිගේ ශුණ්ඩය නැත්නම් සොඬය කෙළවර වෙන්නේ දේවියගේ යෝනියෙන්. මේ දෙදෙනා ආලිංගන වේශයෙන් තමයි සටනට පිවිසෙන්නේ.
ඉතාම කෙටි සටනකින් පසුව විද්‍යවාන් නාශනය කරන්න උච්ඡිෂ්ට ගණපති සමත් වෙනවා. මෙවැනි වික්‍රමයක් කළ එකම දේවතාවා ලෙස සටහන් වන්නේ උච්ඡිෂ්ට ගණපති පමණයි. උච්ඡිෂ්ට ගණපති ස්වරූපය ගැන එක මතයක් නැහැ. බොහෝ මූලාශ්‍රවලට අනුව ඔහු "රක්ත-තනුම්" හෙවත් රතුපාට දේහයක් දරනවා.
නමුත් සමහර මූලාශ්‍රවලට අනුව ඔහු නීලවර්ණයි. පැරැණි පොත්වල කළුපාට නැත්නම් අඳුරුපාට වෙනුවටත් නීලවර්ණය පාවිච්චි කළ බව අප සිහියේ තියාගන්නට ඕන. ඒ වගේම උච්ඡිෂ්ට ගණපතිගේ ඇකයේ ඉන්නේ අන් කිසිවෙකු නොවෙයි නීල සරස්වතිය හෙවත් විඝ්නේශ්වරී දේවිය. සමහර තැන්වල මහා-පිශාචිනී ලෙසත් දැක්වෙනවා.
නීල සරස්වතී යනු ආදි පරාශක්ති මාතාවගේ ප්‍රබලම ස්වරූප දහය වන දශමහා විද්‍යාවන්ගෙන් දෙවැන්නිය, තාරා මාතාවගේ එක ස්වරූපයක්. (තාරා ස්වරූප තුනයි: උග්‍රතාරා, එකජටා, සහ නීල සරස්වතී.)
උච්ඡිෂ්ට ගණපතිගේ ඇස් රතුපාටයි. ඔහු ඉන්නේ සංග්‍රාම උන්මාදයෙන් මත් වෙලා. ඔහුගේ ස්වරූපය විස්තර කරන ධ්‍යාන මන්ත්‍රය මේ ආකාරයි.
චතුර්-භුජම් රක්තතනුම් ත්‍රිනේත්‍රම් පාශංකුශ මෝදක පාත්‍ර දන්තෞ කරෛදධානම් සරශීරුහස්තම් උන්මත්තම් උච්ඡිෂ්ට ගණේෂමිඩේ මේ අනුව, රතු පැහැ කයක්, නෙත් තුනක් සහ අත් සතරක් ද, ඒ අත් සතරේ පාශයක් (තොණ්ඩුවක්) සහ අංකුශයක් (හෙල්ලක් වැනි ආයුධයක්), අඩක් අවසන් කළ මෝදක පිරුණු පාත්‍රයක් සහ නෙළුම් මලක් දරන, වම් කලව මත විඝ්නේශ්වරී දේවිය දරන, සොඬින් ඇගේ ස්ත්‍රීභාවය පිරිමදින, ඉණේ සර්පදාමයක් දරන, මත්වීමෙන් රතු පැහැ ඇස් ඇති, උන්මත්ත වේශධාරී ස්වරූපයක් තමයි උච්ඡිෂ්ට ගණපති කියන්නේ.
මෙහිදී "උච්ඡිෂ්ට" යන වචනය ගැන යම් පැහැදිලි කිරීමක් කළ යුතුයි. උච්ඡිෂ්ට යන විශේෂණ පදය යෙදෙන දේවතාවන් කීපදෙනෙකුම ඉන්නවා. හැමෝම දන්නා මාතාංගේශ්වරී හෙවත් මාතංගී හඳුන්වන තව නමක් "උච්ඡිෂ්ට චණ්ඩාලිනී". උච්ඡිෂ්ට යන්නෙහි එක අර්ථයක් වන්නේ "ඉවත් කළ, ඉඳුල් කළ" යන්නයි. අනෙක් අර්ථය වන්නේ "ශිෂ්ටත්වයට වඩා ඉහළ" යන්නයි.
මෙය න්‍යාය සිද්ධාන්ත පමණක් නොව භාවිතාවේදී පවා අදාළයි. උච්ඡිෂ්ට ගණපති සාධනාවේදී සාම්ප්‍රදායිකව "ශිෂ්ට" යැයි සලකන දෑ පමණක් නොවෙයි අදාළ වන්නේ.
(සාත්වික/තාමසික සාධනා දෙකටම මෙය අදාළයි. උච්ඡිෂ්ට ගණපති සාධනාව සාත්වික මෙන්ම තාමසික යන ආකාර දෙකෙන්ම කරන්න පුළුවනි. තාමසික සාධනාව ගෘහස්ථයන්ට නම් කරන්න බැහැ, උත්සාහ කිරීමත් නොකළ යුතුයි. සාත්වික සාධනාව නම් ගිහියන්ට කළ හැකියි.) උච්ඡිෂ්ට ගණපති ඇදහීමේදී මස්මාළුවලින් වෙන්වීමක් අවශ්‍ය නැහැ. පූජාවට තබන භෝගවලින් කොටසක් තමන් ආහාරයට ගත යුතුයි. ඒ ආහාරයට ගන්නා දෙයින් කොටසක් මුඛයේ ඉතිරිව තිබියදී (මුව නොසෝදා, හෙවත් ඉඳුල් වූ මුවින්) තමයි මන්ත්‍ර ජප කළ යුත්තේ. මේ එක උදාහරණයක්. උච්ඡිෂ්ට ගණපති සාධනයෙන් උපරිම පල නෙළාගත් කෙනා ලෙස ඉතිහාසය දක්වන්නේ වෙන කිසිවකු නොවෙයි ලංකාපුත්‍ර කුවේර. කුවේර යනු යක්ෂයෙක්, යක්ෂ සෙන්පතියෙක්. ජීවිතයේ මුල් කාලයේදී කුවේර හැඳින්වෙන්නේ යක්ෂයන් අතර නරකම කෙනෙකු ලෙස. මෙහිදී එක විශේෂ කාරණයක් සඳහන් කරන්න ඕන: කුවේර යනු රාවණාගේ අඩ-සොහොයුරා.
රාවණට පෙර ලංකාව අයිතිව තිබුණේ කුවේරට. කුවේරගේ රාජකීය ධජයේ සංකේතය සිංහයා. සිංහ කොඩියේ ඉතිහාසය හොයාගෙන ගියොත් එහි කෙළවරේ ඉන්නා ආදිකර්තෘ විජය නෙමෙයි කුවේර.
කුවේරගේ සෙන්පතියන් දෙදෙනා "සංඛ" සහ "පද්ම". මේ දෙදෙනාගේ උදව්වෙන් සහ ගණපතිගේ ආශීර්වාදයෙන් තමයි කුවේර සිය රාජ්‍යය නිර්මාණය කළේ. කුවේර තමයි මේ දූපතට "අලකද්වීප" කියන නම දුන්නේ. අලකද්වීපයට අධිපති බැවින් තමයි කුවේරට "අලකේශ්වර" යනුවෙන් නමක් හැදෙන්නේ.
රාවණා කළේ කුවේරගෙන් ලංකාව පැහැරගැනීම. රාවණා සමග සටනට ගියොත් විනාශ වන බව දැන සිටි කුවේර, රාජ්‍යය අතහැර පළා ගොස් සන්‍යාසි දිවියක් ආරම්භ කරනවා. අවසානයේ ඔහු දෙවියන්ගේ භාණ්ඩාගාරික පදවිය (දේව ධනේශ්වර පදවිය) හිමිකරගන්න සමත් වෙනවා.
කුවේරට ධනවත්බව වගේම විවිධ විෂයයන් ගැන තිබුණු විශාරදභාවයත් ලැබුණේ උච්ඡිෂ්ට ගණපති සහ නීල සරස්වතී දෙදෙනාගෙන්. අදටත් ධනය ප්‍රාර්ථනා කරන බොහෝ දෙනා කුවේර යන්ත්‍රය පළඳිනවා, කුවේර වන්දනාව කරනවා.
මේ සටහන ලීවා වගේ නෙමෙයි, අවධාරණය කරන්න ඕන, උච්ඡිෂ්ට ගණපති වන්දනාව ආධුනිකයන්ට කළ හැකි ඇදහීමක් නම් නොවෙයි; පොතෙන් බලාගෙන කරන්න පුළුවන් වැඩකුත් නොවෙයි.
මේක සාමාන්‍යයෙන් අප කරන ගණදෙවි ඇදහිල්ල වගේ නෙමෙයි. සාමාන්‍යයෙන් අප වඳින පුදන ගණේෂ යනු ඉතාම සෞම්‍ය ස්වරූපයක්. නමුත් උච්ඡිෂ්ට ගණපති යනු තීව්‍ර ස්වරූපයක්. උච්ඡිෂ්ට ගණපති හඳුන්වන තවත් එක නමක් වන්නේ "මහායක්ෂ" යන්න. ඉතිරි ටික හිතාගන්න.
ඒ වගේම මේ තමයි තන්ත්‍ර ශාස්ත්‍රයේ ප්‍රධානම දේවතාවා. එබැවින් සාත්වික හෝ තාමසික යන කුමන මාර්ගයෙන් කළත් මෙය අත්දැකීම් සහිත ගුරුවරයකු යටතේ පමණක් කළ යුතුයි.
ඒ වගේම කරනවා නම් හරියට කළ යුතුයි. ඉන්දියාවේ සහ අසල්වැසි රටවල නම් ගෘහස්ථයන් පවා උච්ඡිෂ්ට ගණපති නිවසේදීම අදහනවා (සාත්වික මාර්ගයෙන්).
නමුත් ඔවුන් එසේ කරන්නේ යම් ගුරුවරයකුගේ උපදෙස් පිටයි. (මගෙන් අහන්නත් එපා මම උපදෙස් දෙන්න සුදුසු මට්ටමක නැහැ; මමත් ශිෂ්‍යයෙක් පමණයි.) තාමසික මාර්ගය ගැන නම් මම එක අකුරක් වත් ලියන්න වත් යන්නෙ නැහැ, මොකද ජීවිතය පවා අනතුරේ වැටෙන්න පුළුවන් නිසා.
එහෙනම් අදට මේ ඇති. නමඃ ශ්‍රී ඝණාය!
